hit counter

2025 මැයි මස 18 වන ඉරිදා

2025 මැයි 19, පෙ.ව. 12:04



ඒක හරි ලස්සන කතාවක්.. පරණ මතක කොහොමත් ලස්සනයි නේ.. ඒ කාලේ ඔහුට හැඳින්වූවේ මහේන්ද්‍ර කියලා…

ඔන්න ඉතින් ඔහුගේ ජීවිතේ එදා වගේම අද මොන තරම් නම් වෙනස් වෙලාද…?

මෙන්න බලන්නකෝ කසුන් ඒ ගැන කියන ආදරණීය කතාව..

“මේ දවස්වල කෛලාෂ් පුතා හරි අපූර්ව දෙයක් කරනවා. දැන් මගෙයි මා ප්‍රිය බිරින්දෑගෙයි දවස ඇරඹෙන එලාම් එක තමයි පුත්‍රයගෙ සද්දෙ. උදේ ඇහැරුණාම මං පුතා දිහා බලං ‘ගුඩ් මෝර්නින් පුතේ’ කීවම හරියට තේරෙනවා වගේ මෙන්න එයා මල් මල් හිනාවක් පානවා. මේ වැඩේ දැන් සතියක වගේ ඉඳන් එක දිගට සිද්ධ වෙනවා. ඇත්තටම දැන් මං අලුත් දවසකට ඇහැ අරින්නෙම පුතණ්ඩියගෙ ඒ මනහාර හිනාව දකින ආසාවෙන්. ඒක මයෙ ජීවිතේ පුරාවටම ජීවන ඇබ්බැහියක් වෙච්චි. පුතා දවසක කරදඬු උස් මහත්වෙච්චි කාලෙකත් අනේ මං දවස පටන් ගන්ට ආසම එයාගෙ ආං ඒ හිනාවෙන්. ඒකෙන් අලුත් හුස්මක් මයෙ ළය පුරාවට සම්පූර්ණෙන් පිරෙනවා. මට ජීවිතේ ලැබෙනවා දැනෙනවා. අප්පච්චියෙකුට මේ සනහස හැර තව වෙන මොනවද ඉතිං !
මං හත වසරෙ ඉද්දි ඉගෙනගත්තෙ කොළඹ ලුම්බිණි විද්‍යාලෙ. ඔය කාලෙ මතක හැටියට ලුම්බිණි ඉස්කෝලෙ හැත්තෑ පස්වෙනි සැමරුම ආවා. ඒකට සමගාමීව ලුම්බිණි දරුවො එක්කාසු කරගෙන ‘කලා ප්‍රසංගයක්’ ලුම්බිණි රඟහලේම පවත්වන්න ගුරුවරු තීරණයක් අරං තිබුණා. ඒ කාලෙ අපිට ‘පෙරදිග සංගීතය’ උගන්නපු ‘ශ්‍රියානි මිස්’ මට කීවා ‘ඔයා එදාට සිංදුවක් කියන්න මහේන්ද්‍ර’ කියලා. ඒ කාලෙ ඇච්චෙක් වෙච්චි මට ඒ ආරාධනාව මහමෙරක්. මං ඒක ඉස්මුදුනින්ම පිළිගත්තා.

එදා ගෙදර යනකල්ම මං කල්පනා කළේ ‘මොකක්ද මං කියන සිංදුව’ කියලා. දවසක් දෙකක් යනකල්ම කියන්ටෝනි සිංදුව මයෙ ඔළුවට ආවෙ නෑ. එන එන එක සෙට් නෑ. බැරිම තැන හත වසරෙ පොඩි එකාට ‘මංම සිංදුවක් ලියනවා. ඉන්පස්සෙ ඒක කියනවා’ කියලා අදහසක් ආවා. කොලුවා වැඩේට බැස්සා.
ඔන්නොය කාලෙ අනේ අපි පවුලක් විදිහට නොවිඳිනා දුක් විඳපු කාලයක්. තාත්තට හරිහමන් රස්සාවක් තිබුන් නෑ. අක්කයි මායි දෙන්නම ඉස්කෝලෙ යන කාලෙ. අහිංසක අම්මා ලොකු නැන්දා එක්ක බෝම අරපිරිමැස්මෙන් පවුල නඩත්තු කරපු අමාරුව පොඩි එකා වෙච්චි මං ඇස්දෙකෙන් දැක්කා. නෑයො අපි දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. ලී කුඩු පුරෝපු ලිපේ ඉඳෙන බත් හැලිය විතරයි දැනන් උන්නෙ අපි ජීවිතේ ගැටගහගන්න කාපු කට්ට.
ඔය කාලෙ අම්මා දවසක් ලොකු නැන්දා එක්කල කීව කතාවක් හොරාට වගේ මට ඇහුණා. අම්මා කීවෙ ‘රටවත් යන්ට බලන්ටෝනි’ කියලා. ඒ කියන්නෙ මැද පෙරදිග ගෘහ සේවෙට. පොඩි එකාගෙ පුංචි ලෝකෙ අකුණු පිපිරුවා වගේ වුණා. අම්මා මගෙන් ඈතට යාවිය, මං තනි වේවිය වගේ වේදනා සිතුවිලි වරුසාවකින් මාව ගේ ඇතුළෙදිම තෙමිලා තෙමිලා හෙම්බත් වුණා. මං අඬ අඬා කොලේකුයි පෑනකුයි අතට ගත්තා. ඒකෙ පහළට මේං මෙහෙම ලියවුණා.

‘ අහස් තලේ නුඹ තාමත් හිඳිනා පාටයි
ගංදෑලේ හතරවටේ නුඹේ හඬ ඇසෙයි
නැති බැරි හින්දා අම්මා මුදල් සොයා ගියේ
ගීත ගයන්නේ ඩිංගක් හිත සැනසෙන්නයි ‘

අද ආයෙ හැරිලා බලද්දි ඉතාම ප්‍රාථමික ලියවිල්ලක් වුණාට එදා හත වසරෙ පොඩි එකා ; අම්මගෙ චූටි පුතා එහෙම ලීවෙ ඒ පුංචි හිතට දැනිච්ච , ඒ පුංචි ඇස්දෙකට පෙනිච්ච ‘අවංක ඇත්ත.’ මට දැන් ඉතුරු පද ටික ඇත්තටම මතක නෑ. ඒත් සිංදුවෙ අන්තිම චුට්ට යන්තමට මතකයි. ඒක මෙහෙමයි.
‘දුක දරන්න බෑ අම්මේ කියන්නකෝ
සම්බෝලයි බතුයි හීනෙන් කවන්නකෝ’
මේ ටික ලියද්දි මේ දැනුත් මයෙ ඇඟේ මයිල් කෙළින් වෙනවා. ඔය තමයි මං ජීවිතේ ලීව මුල්ම සිංදුව. අද වෙද්දි ජනප්‍රිය සිංදු කොච්චරක් ලියලා තිබ්බත් මං තාමත් ආසම මේ වෙනතාක් කවුරුත්ම දැනන් නොහිටපු ඔන්න ඔය සිංදුවට. මං කියන ගී ලියන්නා ඉපදුණේ එදා.
කොහොමින්හරි සිංදුව ලියාගත්තයි කියමුකෝ. දැන් පොඩි එකාගෙ ප්ලෑන්නෙක තමයි ආං අර ඉස්කෝලෙ කලා ප්‍රසංගෙදි ඔන්නොය ‘අහස් තලේ’ ගීය ගායනා කරනෙක. වචනත් හරි. ගායකයත් හරි. ඒත් දෙයියනේ තව ඕනිම දෙයක් නෑනෙ. මියුසික් ! එලෝ මෙලෝ හිතපු පොඩි එකා දෙලෝ රත්වුණා. කෝ මේ වචන වලට තාලයක් ? මං දහ අතේ කල්පනා කරලා උත්තරයක් හම්බු නොවිච්ච තැන මේ ගැන තාත්තට කීවා.
‘තාත්තෙ මං සිංදුවක් ලිව්වා. ඒකට තාලයක් ඕනි.’
තාත්තා කොළේ අරං වචන ටික කියෝලා මයෙ ඔළුව අතගෑවා. දවස් තුන හතරක් ගිහිං දවසක් උදේම මං ගාවට ඇවිත් මෙහෙම කීවා.
‘මූණ හෝදලා ලෑස්ති වෙන්ට ගමනක් යන්ට.’
තාත්තා එහෙම කියනවා බෝම අඩුයි. මං මිටින් හල කුරුල්ලෙක් වාගෙ සැණින් ලෑස්ති වෙලා තාත්තා ගාව හිටගත්තා. තාත්තයි, මායි පිළියන්දල කොළමුන්න පැත්තට පයින්ම ගෑටුවා. යන අතරෙ මට ප්‍රශ්න කෝටියයි.
‘අපි මේ කොහෙද යන්නෙ ?’
‘යමුකෝ’
‘අනේ කියන්නකෝ’
‘ඔයා ලියපු සිංදුවට තාලයක් දාගන්ට’
මට එවෙලෙ ලෝකෙ ලොකුම සතුට දැනුණා. මං තාත්තගෙ අතේ එල්ලිලා හුළඟක් වගේ සැහැල්ලුවෙන් පාරෙ ඉස්සරහටම ඇදුණා. විශාල වත්තක් පේන මානෙකදි තාත්තා නැවතුණා.
‘මේක වෙන්නෝනි ගෙදර. අපි කතා කරලා බලමු පුතේ’
‘කාටද’ මං ඇහුවා.
‘මෙහෙ ඉන්න මහත්තයට.’ තාත්තා හිනාවෙලා කීවා.
ඒ ගෙට කිට්ටු වෙද්දි සරං කොටයක් ඇඳගත්තු, මූණ පුරා කළු රැවුල වවාගත්තු, සරීරෙන් ඉතා කුඩා මනුස්සයෙක් මිදුල අතුගාලා කුණු රොඩු පුච්චන්ට සූදානම් වෙනවා මායි, තාත්තයි දෙන්නම දැක්කා.
‘අන්න ඉන්නවා කෙනා.’ තාත්තා සතුටින් කීවා.
‘සර් කොහොමද…’ කියලා තාත්තා තාප්පෙ ගාව ඉඳන්ම උස් හඬින් කෑ ගෑවා.
අර මනුස්සයා ඈත තියා බලලා ඇස් හීනි කරගෙන සරම පල්ලෙහාට දාං අපි ආසන්නෙට ආවා. එයා ගේට්ටුවෙන් ඇතුළෙ. අපි ගේ පේන මානෙ මහපාරෙ.
‘ඔව් කියන්න’ ඔහු කීවා.
‘සර් මේ මගෙ පුතා. ලුම්බිණියෙ හතේ පන්තියෙ ඉගෙන ගන්නෙ. කලා දිනේකට පුතා සිංදුවක් කියනවා. ඒක එයාම ලියපු එකක් සර්. මේ තියෙන්නෙ ඒක.’
තාත්තා කමිස සාක්කුවෙන් පරිස්සමට මයෙ ලියවිල්ල අතට ගත්තා.
‘ඉතිං සර් මේ වචන ටිකට තාලයක් සංගීතයක් ඕනි. මං පුතාව එක්කං සර් ගාවටම ආවෙ ඒකයි.’
‘අනේ එහෙමද ? කෝ බලන්න පුතා ලියපු සිංදුව’
එතුමා දයාබර හිනාවක් මට දීලා සිංදු කොලේ අතට අරං වුවමනාවෙන්ම ඒක කියෙව්වා.
‘දස්සයෙක්නෙ’ ඉන්පස්සෙ මා දිහා බලලා කීවා.
‘මට තව ටිහිකින් ක්ලාස් එකක් තියෙනවා. නොම්මරයක් දීලා යන්නකෝ. නිවාඩුවෙ පුතා එක්කලා එන්නකෝ. මං උදව් කරන්නං’
ඔහු ළයාදරව එහෙම කීවා. තාත්තයි, මායි හරිම සතුටින් ගුරුදෙවිට සමුදුන්නා.
‘කවුද එයා’ ගෙදර බලා එන අතරෙ මං තාත්තගෙන් ඇහුවා.
‘එයා තමයි පුතේ , ආනන්ද සර්.’
‘සිංදු හදන කෙනෙක්ද’
‘ඔව්. ආනන්ද සර් තමයි ඉසිපතනෙ සංගීත ගුරුවරයා’
අම්මටෂිරි ! ඒ කාලෙ ඉසිපතන ඉස්කෝලෙ මියුසික් ගුරාව තමයි අපිට ඒ මුණගැහුණෙ. සංගීත අඹරෙ සුපිරි තරුවක් වෙලා නොදිලුණාට දන්නවද එයා තමයි සුප්‍රකට ‘ආජු තපර ලාහිලා’ සිංදුව දීපිකා ප්‍රියදර්ශනිය එක්කලා හරිම රහට ගයන කෙනා. එතුමගෙ නම ‘ආනන්ද වීරසිරි’.
ගෙදර ආ වෙලේ ඉඳන් පොඩි එකාගෙ සතුට ඉස්මුරුත්තාවට එන තරං. ඒත් එදා ගෙයි ලෑන්ඩ් ෆෝන්නෙකක් නොතිබ්බ නිසා ආනන්ද සර්ට දෙන්න අපිට නොම්මරයක් තිබුන් නෑ. ආයෙ කිසිදාක සර්ව මුණගැහෙන්ට නිවාඩුපාඩුවෙ එකමෙක ඉඩක්වත් ලැබුනෙත් නෑ.
දවසින් දවස ‘ලුම්බිණි කලා ප්‍රසංග දිනේ’ නං අත ළඟටම ආවා.
‘මහේන්ද්‍ර කෝ කියන්න බලන්න ඔයා තෝරගත්ත සිංදුව’
පෙර පුහුණුවීමකදි අපේ සංගීත ගුරුතුමී මගෙන් ඇහුවා.
‘ටීචර් මේක මංම ලියපු සිංදුවක්. තාම තාලයක් නෑ’
මං ගුරුතුමීට කීවා. ඒක ඇහිලා අනික් ළමෝ හිනාවුණා. ගුරුතුමී සිංදු කොලේ අරං බැලුවා.
‘මහේන්ද්‍ර හෙට ආෆ්ටර් ස්කූල් ඉන්න පුතේ. මං මේකට තාලයක් දාන්නං’
අනේ ශ්‍රියානි මිස් බෝම ආදරෙන් මට කීවා. ඊළඟ දවසෙ හැන්දෑවෙ සංගීත කාමරේ ඉඳන් සර්පිනාවත් ළඟින් තියන් ගුරුතුමී මයෙ වචන ටිකට තාලයක් දුන්නා. දේව මාතාවක් වාගෙ ඒ සිංදුවට පණ දුන්නා.
‘මෙන්න මෙහෙම කියන්න පුතා’ කියලා කීප වතාවක්ම ඒ ගීය ගයලා පෙන්නුවා. මං ගෙදර ගිහිං රෑ වෙනකල්ම ගුරුතුමී පුරුදු කරපු තාලෙන් ඒක ගයන්ට උත්සාහ කළා. එදා රෑ හීනෙනුත් ලුම්බිණි රඟහලේ ස්ටේජ්ජෙක උඩ මං සිංදුව කියනවා මට පෙනුණා. අන්නප්පේ හීන !
සඳුදාවක තියෙන්ට තිබුණු ප්‍රසංගය දින නියමයක් නැතිව කල් ගිහිංය කියලා සිකුරාදා දවල් දැනගන්ට ලැබුණා. ඒකට හේතුව ඇත්තටම දන්නෙ පාසල් පරිපාලනය වෙන්ටෝනි. පුංචි එකා වෙච්චි මට නොසෑහෙන්න දුක හිතුණා. ගෙදර ඇවිදිල්ලා නොකාම නිදාගත්තා.
කාලෙ ගෙවුණා. ආයෙත් කවමදාවත් ඒ සිහිනමය දිනේ උදාවුණේ නෑ.
මං ලීව මයෙ මුල්ම සිංදුව කිසිමදාක සිංදුවක් වුණෙත් නෑ. හැබැයි මට වැඩිපුරම සතුටු එකමෙක දෙයක් ඒකෙන් සිද්ධවුණා. මං ලීව වචන ටික කියෝලා අම්මා අපිව දාලා රට යන අදහස අත් ඇරගෙන තිබුණා. අම්මා අපි එක්කම හැමදාමත් උන්නා. තාත්තා වැටුපක් ලැබෙන අලුත් රස්සාවක් හොයාගත්තා. සිංදුව බිහි නූනට අනේ අපි පුළුවන් හැටියට තුන්වේල කාලා පාඩුවෙ ජීවත්වුණා. මං හොඳටෝම ඉගෙනගත්තා.
ඔන්නොහොම වේදනා කටු ඇනිලා ජීවන ගීය තුවාල වෙච්චි නිසා වෙන්ටැති මං ලියන්නෙක් වුණේ. ලොකු වෙලා වෘත්තිමය මට්ටමින් කලාවෙ නියැළෙන්ට ඒ කටුක රස අද්දැකීම් අම්මාපල් මට බලපාන්ටැති.
අද කෛලාෂ් පුතාව ඉඹගද්දි හුරතල් කරද්දි නිරායාසෙන් මට මයෙ තාත්තව මතක් වෙනවා. උණු උණු කඳුලු ගුලි මයෙ ඇහිදාර අස්සෙන් පපුවට කඩා හැලෙනවා. තාත්තා අද ජීවතුන් අතර නූනත් එයාගෙ එකම පුතණ්ඩියා හැටියට එයා මට කොච්චරක් ආදරේ කරන්ට ඇද්ද කියලා මට හිතෙනවා.
මං මයෙ පුතාට ඊටත් වැඩියෙන් ආදරේ කරනවා ! “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: