2025 අප්‍රේල් 08, පෙ.ව. 12:13
පාලම ගැන යළි කතා බහට ලක්වුනේ… ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය තෙදින නිල සංචාරයෙන් පසුව සිය රට බලා යනගමනේදී සිය මුහුණු පොතේ එක්කර තිබූ වීඩියෝවෙන් …
ඔහු වීඩියෝ සමග සටහනක්ද එක් කරලා තිබුණා… රාම් සේතු පාලම ගැන හැමෝම උනන්දුවෙන් හොයලා බලන හින්දා ඒ ගැන අපි හොයලා බැලුවා…
රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය.
එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය. හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය.
ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදි කළ බව එහි සඳහන්ය.
ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය.
මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබේ.
වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.
විද්‍යාඥයන්ගේ නව මතය ප්‍රකාශයට පත්වීමත් සමඟ ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ. භාරතීය ජනතා පක්ෂ නායකයන් සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳ පුරාවෘත්තය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණ වන බවයි.
රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී.
එක් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000කට පමණ පෙර වෙන් වී තිබේ. එසේ වෙන්වීමේදී ශේෂ වූ කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වී තිබේ.
රාම් සේතු පාලම යැයි හඳුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30ක් පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථානවල ගැඹුර අඩි 3ක් පමණ වේ යැයි නිව්ස් 18 නමැති නාලිකාව සඳහන් කරයි.
ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියළිය. 15 වැනි සියවස තෙක් මෙම වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවැති අතර ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසති. ක්‍රි. ව. 1480 ඇති වූ කුණාටුවකින් වැලිපරය විනාශ වී තිබේ.
මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප්‍රථමයෙන්ම හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි. එහි එය හැඳින්වෙන්නේ ‘රාමා සේතු’ නොහොත් ‘රාමාගේ පාලම’ යන නමිනි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය ‘සේතුබන්ධනම්’ ලෙස නම් කර තිබේ. මෙම ප්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘සේතු සමුද්‍රම්’ නමිනි. එහි අරුත ‘පාලමක් සහිත මුහුදු ප්‍රදේශය’ යන්නයි.
දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි. ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. තවත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය’ යනුවෙනි.
රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේස්වරම්හිය. මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යනුවෙනි.
ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි එය ‘මුහුදේ ඇති පාලම’ ලෙස හඳුන්වා තිබේ. 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ ලෙසිනි. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන හෙයින් රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳින්වේ.
විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත
අන්තර්ජාලයෙන්…
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 07, ප.ව. 1:52
2025 අප්‍රේල් 07, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 07, පෙ.ව. 12:04
2025 අප්‍රේල් 07, පෙ.ව. 12:02
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25