hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු 17, පෙ.ව. 12:09



ජීවිතය කියන්නේ පුදුමාකාර සිදුවීම් දාමයකටයි. සමහර වෙලාවට අපි නොහිතන විදිහේ හමුවීම් දෛවය විසින්ම අපිට මුණගස්වනවා. 

මේ එවැනිම ඉතාමත් සංවේදී සහ සුන්දර කතාවක්.

කතාව ආරම්භ වෙන්නේ මීට වසර 27කට පෙර, එනම් 1999 වසරේදීයි. එදා රෝහලක ශල්‍යාගාරයක් ඇතුළේ එක්තරා මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍ය කේ. ඒ. ගුණරත්න මහතා, පුංචි දියණියක මෙලොවට බිහි කිරීමට මූලික වෙනවා. එදා ඒ වෛද්‍යවරයාගේ දෑතට මුලින්ම හසු වුණු ඒ පුංචි ජීවිතය අද කොතැනක ඇත්දැයි එදා ඔහු සිතන්නට නැතුව ඇති.

කාලය ගෙවී ගියා. එදා වෛද්‍ය ගුණරත්න මහතාගේ දෑතින් මෙලොවට ආ ඒ පුංචි දැරිය අද ලොකු මහත් වෙලා. දෛවයේ සරදමකට වගේ ඇය අද ඉගෙන ගන්නේ තමන්ව මෙලොවට බිහි කළ ඒ විශිෂ්ට වෛද්‍යවරයා යටතේමයි. ඇය දැන් ඔහුගේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්.

“මාව අම්මගේ බඩෙන් එළියට ගත්තේ එයාමයි කියලා දැනගත්ත ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ…” ඇය පවසන්නේ හද පිරි කෘතඥතාවයෙන්. වසර 27කට පෙර තමන් රෝහලෙන් පිටව යන විට ලැබුණු ඒ පැරණි ‘ඩිස්චාර්ජ් කාඩ්’ (Discharge Card) එක ඇය අද වෛද්‍යවරයාට පෙන්වනවා.

එය අතට ගත් වෛද්‍ය ගුණරත්න මහතාගේ මුහුණේ ඇඳී ගියේ අභිමානවත් මෙන්ම දයාබර හිනාවක්. ඔහු එම කාඩ්පත අතැතිව ඇය දෙස බලා මෙහෙම කියනවා…

“තමුසේ මම ගත්ත හින්දා තමයි බෝලේ වගේ ඉන්නේ………මම ගත්ත කෙල්ලෙක්නෙහ්!”

ඒ වචන ටික ඇගේ හදවතේ සදාකාලිකවම රැඳෙනු නොඅනුමානයි. තමන් ලොවට බිහි කළ දියණියක් වැනි ශිෂ්‍යාවකට අද ගුරුහරුකම් දීමට ලැබීම වෛද්‍යවරයෙකුට ලැබිය හැකි උතුම්ම සතුටක් විය යුතුයි.

දැහැමි ජයරත්න විසින් මුහුණුපොතට එක් කර තිබූ මෙම සටහන, ගුරු-ගෝල සබඳතාවය මෙන්ම වෛද්‍යවරයෙකු සහ රෝගියෙකු අතර ඇති වන ඒ උතුම් මානුෂීය බැඳීම මොනතරම් සුන්දරදැයි අපට පසක් කර දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: