hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:04



මංගල උත්සවය අවසන් වීමෙන් පසු මංගල රාත්‍රිය ගත කිරීමට තම නිවසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියෙකු විසින් කල්තබා අත්පත් කර ගැනීම නිසා මංගල යුවළට අසල්වැසි නිවසක රාත්‍රිය ගත කිරීමට සිදුවීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ගම්බද නිවසක් වූ එය වියදම් කරන්නට තරම් ලොකු මුදලක් නැතත් පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දුන් දෙපාර්ශ්වයේ ඥාතීන් තම දරුවන් දෙදෙනා විවාහ කරවනු ලැබුවේ නිවෙස්වල පවත්වනු ලැබූ චාම් උත්සවයකිනි.

මනාලියගේ නිවසේ උත්සවය අවසානයේ මනමාල මහතා මනාලිය නිවසට කැඳවාගෙන එනු ලැබූ අතර නිවැසියන් මංගල රාත්‍රිය ගත කිරීමට නිවසේ තිබූ එකම හොඳම කාමරය හැකි අයුරින් සරසා සකස් කරනු ලැබුවේ ඒ වෙනුවෙන් ඇවැසි උපරිම පහසුකම්ද ලබා දෙමිනි.

නමුත් මංගල යුවළත් සමඟම පැමිණි මනමාල මහතාගේ වැඩිහිටි ඥාතියෙකු කල්තබා එම කාමරයට ඇතුළු වී කිහිප පොළකම වමනය කර මනාල යුවළ වෙනුවෙන් සුදු පිරුවට අතුරා සකස් කර තිබූ සයනයේ වැතිරුණේ ඔහු වැළැක්වීමට පැමිණී කීපදෙනකුටම ලු‍‍ණු ඇඹුල් ඇතිව බණිමිනි.

පිටස්තර ප්‍රදේශයකින් තම පවුල්ට කැඳවාගෙන ආ ලේලියගේත් තම දරුවාගේත් මංගල දිනය වෙනුවෙන් සකස් කර තිබූ නිවසේ වූ එකම කාමරය මෙලෙස අහිමි වෙද්දී නිවැසියන් සේම මනාල මහතාද දැඩි අපහසුතාවකට පත්විය.

කාමරයේ වූ දැඩි දුර්ගන්ධය හේතුවෙන් කිසිවෙකුත් එහි ඇතුළුවීමද ප්‍රතික්ෂේප කළහ.

අවසානයේ මනමාල මහතාගේ නිවසේ තිබූ චාම් උත්සවය නිමාකළ මනාල යුවළ කුලියට ගත් ත්‍රීවිල් රථයකින් දුර බැහැර පිහිටි මනාලියගේ මවගේ ඥාතියකුගේ නිවසකට ගොස් සිය මංගල රාත්‍රිය ආරම්භ කරන විට මැදියම් රැයද ඉක්ම ගොස් තිබිණි.

මේවන විට කාමරය අරක්ගත් ඥාතියා පමණක් නොව ඔහුගේ බිරිඳද මේ පවුලට මුහුණ නොදී මග හරින බව ගම්මුන් පවසයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: