hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 10, ප.ව. 7:38



ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ Aviation Gender Summit – 2023 හී දී ” කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්‍රයට ආකර්ෂණ කර ගැනීම පිළිබඳ “ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ දේව් කෞසල සමරජීව මහතා ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය එහිදී ඉදිරිපත් වූ විශිෂ්ටතම නිර්මාණය ලෙස තේරී පත් වී ඇති අතර ඔහු එම සම්මාන සහතිකය රැගෙන අද (10) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ” මැරියට් ” හෝටලයේ දී පවත්වා තිබුණා.

මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 64 ක් නියෝජනය කරමින් තරගකරුවන් 289 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.

ඒ සියලු නිර්මාණයන් අභිබවා දේව් කෞසල සමරජීව ඉදිරිපත් කළ නිර්මාණය ප්‍රථම ස්ථානයට පත් වී තිබෙනවා.

දේව් කෞසල සමරජීව  “Aviation Voice ” සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි විධායක අධ්‍යක්ෂවරයා ද වෙනවා.

ඔහු මීට පෙර 2012 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හී දී  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ සමුළුව අතරතුර සංවිධානය කළ  තරගාවලියේ දී ” කුඩා දරුවන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කර ගැනීම ” පිළිබඳව වීඩියෝ නිර්මාණයක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ද දේව් කෞසල මහතා  ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා.

දේව් කෞසල මෙම සම්මානය රැගෙන අද (10) සවස 03.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්වුණා.