hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 12, පෙ.ව. 11:54



පසුගිය මාස හයක කාලය තුළ ඉන්දියාවේ මෙන්ම පකිස්තානය හා ආසියානු රටවල කුරුළු උණ රෝගය පැවැති බැවින් එම රට වලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු ලෙසකින් අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කරනවා.

අවශ්‍ය නම් කුරුළු උණෙන් තොර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව, එංගලන්තය බ්‍රසීලය වැනි රට වලින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවද ඇය සඳහන් කළා.

මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයේ දී ඊයේ (11) පැවැති මාධ්ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව පැවසුවා.

පසුගිය කාලය තුළ කුකුළු කර්මාන්තය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය කිරීමට අවසර ලබා දුන්නේ ද කුරුළු උණෙන් තොර බවට සහතික කරගත් රට වලින් පමණක් යැයිද කොතලාවල මහත්මිය කියා සිටියා.

සතෙක් හෝ සත්ත්ව නිෂ්පාදනයක් ආනයනය කරන්නේ නම් ඒ ඔස්සේ රට තුළට රෝග ඇතුළු වීම වැලැක්වීම සඳහා 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත ප්‍රකාරව කටයුතු කළ යුතුව තිබෙන බවත් එහි දී ආනයන අපනයන ජනරාල්වරයා අනුමැතිය ලබාදිය යුත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තාක්ෂණික නිර්දේශය පදනම් කරගෙන බවත් ඇය පැවසුවා.

කුකළු පැටට්, මස්, බිත්තර පමණක් නොව කුකුළු පිහාටු පවා මෙරටට ආනයනය කරන බවත් ඒ සෑම අවස්ථාවක දීම සත්ත්ව රෝග පනතට අනුව කටයුතු කරන බවත් කොතලාවල මහත්මිය ප්‍රකාශ කළා.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සම්බන්ධව අවධානයක් යොමුව තිබෙන බවත් පසුගිය නොවැම්බර් මාසයේදී ද එම රටින් කුරුළු උණ රෝගය වාර්තා වී තිබෙන බැවින් කිසිසේතම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදිය නොහැකි බවත් ඇය අවධාරණය කළා.                                                                                                                 

මේ වන විට සත්ව ආහාර සඳහා උපයෝගී කරගන්නා බඩඉරිඟු, සෝයා වැනි ආහාරවල මිල විශාල අඩුවීමක් සිදුව ඇති බැවින් බිත්තර නිෂ්පාදනය සඳහා වැයවන මිල අඩු වී ඇති බවත් එබැවින් ලංකාවේ නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 50 කට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවත් සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ මින් ඉදිරියට සෑම සතියකම සිකුරාදා දින බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල තම දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන බවය.