hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 මැයි 14, ප.ව. 8:59



ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් ඊයේ (13) දිනයේ දී වාර්තා වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණා.

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ ඊයේ දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු.365 ක් ලෙසින් වාර්තා කර තිබුණා.

මේ අනුව පෙරේදා (12) රුපියල් 377.49 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් ක් 364.51 ක් දක්වා රුපියල් 12.51 කින් අඩු වී තිබෙනවා.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 ක් දක්වා අඩු වෙමින් රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ ලංකා බැංකුවේ රුපියල් 365.00 ක් ලෙස ද, මහජන බැංකුවේ රුපියල් 364.96 ක් ලෙස ද, සම්පත් බැංකුවේ රුපියල් 365.00 ක් ලෙස සහ කොමර්ෂල් බැංකුවේ රුපියල් 365.00 ක් ලෙස ද සටහන් වී තිබුණා.

මාස 2ට රුපියලට වෙච්ච දේ

පසුගිය මාර්තු 09 වනදා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණා.

ඒ අනුව මාර්තු මාසයේ සිට ඩොලරයක විකුණුම් මිල සීග්‍රයෙන් ඉහළ ගියා. ඩොලරයේ අගය රුපියල් 203 සිට මාස 2ක් තුළ රුපියල් 400ට ආසන්න වුණා.

මෙම පසුබිම තුළ පසුගිය 11 වනදා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.

මේ අනුව විනිමය අනුපාතිකයේ පවතින අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් 2022.05.12 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් පහත සඳහන් ක්‍රියාමාර්ග නිකුත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම ක්‍රියාමාර්ග වන්නේ,

මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ පෙර දින බර තැබූ නිත්‍ය එතැන් අනුපාතය මත පදනම්ව අන්තර් බැංකු ගනුදෙනු සඳහා USD/LKR මධ්‍යම අනුපාතිකය ප්‍රකාශයට පත් කරනු ඇත.

මෙහිදී අවසර ලත් USD/LKR විචලන ආන්තිකය ද මහ බැංකුව විසින් නිවේදනය කරනු ලැබේ. (එය + හෝ – ලෙස යොදා ගත හැකිය.)

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වානිජ බැංකුවලින් ඉල්ලා සිටින්නේ පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙසයි.

ඉදිරි අනුපාතිකයන් (Forward rates) ද අන්තර් බැංකු නිත්‍ය අනුපාතිකය (Inter bank spot rate) සමඟ සමපාත විය යුතුය.

බලපත්‍රලාභී වානිජ බැංකුවල ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතුය.

ඒ අනුව අද (2022.05.13) දින සඳහා මධ්‍යම අනුපාතය රු. 360.00 සිට (+/-) රු. 2.60 ක අවසර ලත් වෙනසක් සහිතව විය යුතුවේ.

රුපියල උඩ ගිය හේතුව

රුපියලේ අගය ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ මහ බැංකුව විසින් රුපියලේ අගයට කටයුතු කළ යුතු පරාසයක් පිළිබඳ මහ බැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම බව ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා සඳහන් කළා.

නව අගමැතිවරයෙකු පත් වීමත් ඊට බලපෑ ඇති බවත් නව කැබිනට් මණ්ඩලයත් සමඟ ගෙන එන වැඩපිළිවෙල වැදගත් වන බවත් ප්‍රේමරත්න මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසූවේ විදේශ ණය හෝ විදෙස් ආයෝජන ගලා එන්නේ නම් රුපියල ශක්තිමත් වීම සිදු වනු ඇති බවයි.

කොටස් වෙළෙඳපොලට වෙච්ච දේ

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශයන් හි දැවැන්ත ඉහළ යාමක් ඊයේ (13) දිනයේ දී වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දින ප.ව. 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 139.56 කින් ඉහළ ගොස් තිබුණා.

මෙය පෙර දිනය හා සැසඳීමේ දී පිළිවෙලින් 4.43% ක හා 5.52% ක සුවිශේෂී වර්ධනයක්.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,098.41 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,669.73 ක් ලෙසින් සටහන්ව තිබුණා.

ඊයේ රු. බිලියන 2.18 ක වටිනාකමකින් යුත් කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී තිබීම ද සුවිශේෂී කරුණක්.

නව අගමැති පත් වීමේ බලපෑම

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසූවේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත් වීමත් සමඟ ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් සැලකිය යුතු ආධාර මුදල් ලබා දෙනු ඇතැයි ආයෝජකයින් අපේක්ෂා කරන බවයි.

නව අගමැතිවරයාගේ පත් වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු වේගවත් කරනු ඇති බවත් දේශපාලන ස්ථාවරත්වයත් සමඟ කොටස් වෙළෙඳපොල විශ්වාසය වැඩි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

බහුපාර්ශ්වික සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කමිටුවේ සාමාජික, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කරන්නේ ප්‍රමුඛතාව දිය යුතු මූලික කාරණා 5ක් ඇති බවත් ආධාර වැඩසටහන ඉන් එක් කාරණයක් බවත්ය.

Example Image