hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2025 මාර්තු 10, ප.ව. 3:57



සුවසෙවන රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ සේවාව ඔස්සේ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. රාජ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මෙම නව සහයෝගීතාවයේ අරමුණ විය. මෙම හවුල්කාරිත්වය හරහා අග්‍රහාර රක්‍ෂණලාභී රෝගීන් ඇතුළත් වීමේ ගාස්තුවෙන් නිදහස් කරනු ලබන අතර බාහිර රෝගී අංශයේ උපදේශන සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ඇත. ඊට අමතරව CT, MRI, Mammogram, X-Ray සහ USS යන රසායනාගාර සේවා සහ විකිරණවේදී සේවාවන්ටත් ECHO සහ ECG පරීක්‍ෂණයන්ටත් 10%ක වට්ටමක් ලබා දෙනු ඇත. එසේම කිලෝ මීටර් 10ක දුරක් දක්වා ගිලන් රථ සේවාව නොමිලේ සපයනු ලබන අතර නේවාසික රෝගීන්ගේ කාමර ගාස්තුවට 20%ක වට්ටමක් ද හෘද සැත්කම් සඳහා රු. 50,000/=ක වට්ටමක් ද ලබා දෙයි.

1997දී ආරම්භ කරනලද අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන 2006 පටන් ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ කළමනාකරණය වන අතර එමගින් මෙරට රාජ්‍ය සේවකයන් මිලියන 1.5කට අධික පිරිසකටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සේවය සපයයි. මෙම නව සහයෝගීතාවය හරහා මහනුවර ප්‍රදේශයේ විශ්වාසවන්තම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන සුවසෙවන රෝහලෙන් විශේෂ සත්කාර ලබා ගැනීමට අග්‍රහාර රක්‍ෂණ හිමියන්ට අවස්ථාව සැලසෙයි.

වසර 40කට ආසන්න කාලයක් මහනුවර ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වී සිටින සුවසෙවන රෝහල ඉහළ පහසුකම්වලින් සහ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරවලින් සමන්විතය. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන ආකාරයෙන් සහ රෝගීන්ට සුදුසු සන්සුන් පරිසරයකින් සමන්විත වන ආකාරයෙන් සැදුම්ලත් සාමාන්‍ය මට්ටමේ සිට සුඛෝපභෝගී මට්ටම දක්වා වන සුවපහසු කාමර 150කින් ද යුක්තය.

සුවසෙවන රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පැස්කුවෙල් මහතා මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නෙක් විදියට ලංකාවේ රාජ්‍ය සේවකයන්ට සුවිශේෂී සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අප දක්වන උනන්දුව සහ කැපවීම මේ සහයෝගීතාවය ඔස්සේ තහවුරු වෙනවා. ඒ වගේම අග්‍රහාර රක්‍ෂණ වැඩසටහන හරහා රාජ්‍ය සේවකයන්ට වගේම ඔවුන්ගේ පවුල්වලට අපගේ සේවාව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට හැකි වීම ගැනත් අපි ආඩම්බර වෙනවා.”

“සුවසෙවන රෝහල මේ වන විට හෘද සැත්කම් සිදු කිරීම ආරම්භ කර තිබෙන බව අපි දැනුම් දෙන්නේ විශාල සතුටකින්. නවීන තාක්‍ෂණය සහ දියුණු වෛද්‍ය උපකරණ භාවිතා කරමින් අපේ රෝගීන්ට ඉහළම ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබා දෙන්න අපි නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා. එහි එක් පියවරක් විදියට හෘද සැත්කම් සඳහා වන මහනුවර ප්‍රදේශයේ පළමු මොඩියුලර් ශල්‍යාගාරය ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙනවා.” යැයි මෙහිදී අදහස් දැක්වූ සුවසෙවන රෝහලේ ප්‍රධාන ව්‍යාපාර සංවර්ධන නිලධාරී ශ්‍රීමත් වැලිවිට මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ට දැරිය හැකි මිලකට, විශ්වාසවන්තම සහ උසස් ගුණාත්මක බවකින් යුතු සෞඛ්‍ය සේවාවක් ලබා දීමටත් ඔවුන්ට ඒ ඔස්සේ ලැබිය යුතු සුවිශේෂී සත්කාර ළඟා කර ගැනීමටත් මෙම හවුල්කාරිත්වය ඔස්සේ නියත වශයෙන්ම අවස්ථාව උදා වේ.