hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:33



පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් ඊයේ වසර හතරකට පසු නැවතත් සිය රට පැමිණියා. එක්සත් රාජධානියේ ස්වයං පිටුවහල්ව සිටි ඔහු පැමිණියේ 2024 ජනවාරියේ පැවැත්වේ යයි අපේක්ෂා කෙරෙන මහ මැතිවරණයට තරග කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඔහු ඊයේ රාත්‍රියේ ලාහෝර් නගරයේදී මහජන රැළියකට ද සහභාගී වුණා.

දූෂණ චෝදනා මත 14 වසරක සිර දඬුවමකට ලක් වූ ශරීෆ් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානිය වෙත පිටව ගියේ 2019 වසරේ යි. ඔහු නැවත පාකිස්ථානයට පැමිණි විට අත්අඩංගුවට පත්වීමේ ඉඩක් තිබුණද ඔහුගේ නීතීඥයන් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම තාවකාලිකව අත් හිටුවනු ලැබුණා. ශරීෆ් අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

දූෂණ චෝදනාවන්ට වරදකරු වූයෙන් ඔහුට ඊළඟ මැතිවරණයට තරග කිරීමේ හැකියාව නැහැ. නමුත් ඔහු බලාපොරිත්තු වන්නේ එම චෝදනාවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමටයි.

ශරීෆ්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වන ඉම්රාන් ඛාන් ද දූෂණ චෝදනාවන්ට වරදකරු වූයෙන් මැතිවරණයට තරග කිරීමේ හැකියාව අහිමිව සිටිනවා. ඔහු ද එම තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් 73 හැවිරිදි නවාස් ශරීෆ් බලාපොරොත්තු වන්නේ සිව්වන වරට ද අගමැති ධුරයට පත්වීමටයි.