hit counter

2026 අගෝස්‍තු මස 13 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 14, ප.ව. 2:54



ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන ඇක්සියොස් වෙබ් අඩවිය පවසනවා.

හිස්බුල්ලා සංවිධානය විසින් පසුගිය දිනවල ඊශ්‍රායලය වෙත එල්ල කළ රොකට් ප්‍රහාර මේ සඳහා ආසන්නතම හේතුව වන නමුත් එම ප්‍රහාර මර්ධනය කිරීමට වඩා පුළුල් අරමුණක් ද මෙහි ඇති බවයි පෙනී යන්නේ.

ගාසා තීරයෙහි කළ දේ දකුණු ලෙබනනයේ ද කිරීමට බලාපොරොත්තු වන බව එක් ඊශ්‍රායල නිලධාරියකු සඳහන් කර තිබෙනවා. මේ අනුව ලිටානි නදිය තෙක් ප්‍රදේශයේ පාලනය තමන් සතු කරගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරනු ඇතැයි පෙනී යනවා.

හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායල ආක්‍රමණයක් සඳහා සූදානම් බව එම සංවිධානයේ නායක නයිම් කාසෙම් පවසනවා. ඔහු කියා සිටින්නේ ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය වෙත ඇතුල් වුවහොත් ඔවුන් උගුලක පැටලෙන බවයි.

හිස්බුල්ලා සංවිධානයේ සටන් ඒකකවලට සැලකිය යුතු ස්වාධීනත්වයකින් කටයුතු කළ හැකියි. එමෙන්ම එහි සැලකිය යුතු පිරිසක් සිරියාවේදී යුධ අත් දැකීම් ලබා තිබෙනවා. එහෙයින් හිස්බුල්ලා සංවිධානය සමග වන ගරිල්ලා සටනක් ඊශ්‍රායලයට එතරම්ම පහසු නොවීමට අවකාශය තිබෙනවා.