hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:49



මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කාර්ටල හෙවත් කල්ලිවල 175,000 ක් පමණ සාමාජික පිරිසක් සිටින බවත් ඒ අනුව ඒවා එකතුවක් සේ ගතහොත් එරට පස්වන විශාලම සේවායෝජකයා ලෙස ගතහැකි බවත් හෙළිව තිබෙනවා.

පුද්ගල ඝාතන​, බන්ධනාගාරගත කිරීම් හා අනෙකුත් දත්ත පදනම් කරගෙන පර්යේෂකයන් පිරිසක් විසින් මෙම කාර්ටල සම්බන්ධව ගොඩනැගූ ගණිතමය ආකෘතියක් පදනම් කරගත් පර්යේෂණ වාර්තාවක් ඉකුත්දා පළවූ “සයන්ස්” සඟරාවෙහි පළවුණා. එම පර්යේෂකයන් පවසන පරිදි 150 ක් පමණ වන මත්ද්‍රව්‍ය කල්ලි ප්‍රමාණයක් මෙක්සිකෝවෙහි ඇති අතර ඔවුන් නිතිපතා නව සාමාජිකයන් ඒවාට බඳවාගන්නවා. වසරකට 20,000 ක් පමණ දෙනා මෙසේ බඳවාගන්නා බවයි අනුමාන කරනු ලැබ ඇත්තේ. පසුගිය දශකයක් තුළ මත්ද්‍රව්‍ය කල්ලි සාමාජිකයන් බව දැනුවත් පිරිස අතුරින් සියයට 37 ක් පමණ මරණයට පත්ව හෝ සිරගත කර හෝ ඇති බැවින් ඔවුන් ගේ පැවැත්ම සඳහා මෙසේ නිතිපතා නව සාමාජිකයන් බඳවාගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය කල්ලි පාලනයට නම් ඔවුන්ට නව බඳවාගැනීම් කිරීම අසීරු කළ යුතු අතරම ඔවුන්ට අවි ආයුධ ලැබෙන මංපෙත් ද අසුරා දැමිය යුතු බවයි පර්යේෂකයන් පවසන්නේ.