hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 03, පෙ.ව. 8:30



ඉරානයේ ජූනි 28 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මොහොමඩ් අහමදිනජාද් නාමයෝජනා භාර දී තිබෙනවා.

හැට හත් හැවිරිදි අහමදිනජාද් 2005-2013 සමයේ එරට ජනාධිපති ලෙස දෙවරක් කටයුතු කළා. එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එකවර පිට පිට දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි හෙයින් 2013 දී ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගත්තා.

2017 සහ 2021 ජනාධිපතිවරණ සඳහා ද ඔහු නාමයෝජනා ලබාදුන් නමුත් ඒවා ප්‍රතික්ෂේප වුණා. ඔහු සහ එරට පාලක ආගමික ගාර්ඩියන් කවුන්සිලය අතර යම් යම් කරුණු අරභයා ඇති මතභේද ඊට හේතුව බවයි පැවසෙන්නේ.

මෙවර ද ඔහුගේ නාමයෝජනාව ස්ථිර කෙරෙනු ඇතිදැයි සැක සහිතයි.

මීට අමතරව ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ගණනාවක් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර දැඩිමතධාරී හිටපු මන්ත්‍රීවරියක වන සොරේහ් එලාහියාන් ද වනවා. ඇය පසුගිය සමයේ ඉරාන ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ කාන්තා විරෝධතා දැඩිව විවේචනය කළ අයෙක්. කෙසේ වෙතත් ඇයගේ නාම යෝජනාව ද ස්ථිර වේදැයි සැක සහිතයි. ඉරානයේ ජනාධිපතිවරණයක් සඳහා කාන්තාවකට අපේක් ෂකත්වය ලබාදීමට ගාර්ඩියන් කවුන්සිලය මෙතෙක් කටයුතු කර නැහැ.

අද දින (ජූනි 3) නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වන අතර ඉන් අනතුරුව ගාර්ඩියන් කවුන්සිලය විසින් අනුමත අපේක්ෂකයන් ලයිස්තුව ඉදිරිපත් කෙරෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජූනි 12 සිට 27 දක්වා කාලය වෙන්කර තිබෙනවා.

Example Image