hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 18, පෙ.ව. 9:04



ඔස්ට්‍රේලියාව විසින් මීට කලකට පෙර රටින් පිටමං කළ ඔත්තුකරුවන් පිරිස ඉන්දියානුවන් බවත්, ඔවුන් සිව් දෙනකු වරින් වර රටින් පිට කළ බවත් නවතම වාර්තා වැඩසටහනක් මගින් හෙළිකර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනය විසින් විකාශය කරන ලද මෙම වැඩසටහන මගින් ඉන්දියාව ඔස්ට්‍රේලියාව තුළ සිය කටයුතු පවත්වාගෙන යන අන්දම පිළිබඳ සාකච්ඡා කරනවා.

තම රට තුළ ක්‍රියාත්මක වූ ඔත්තුකරුවන් කණ්ඩායමක් සොයාගත් බවත් ඔවුන් පිළිබඳව සුදුසු පියවර ගත් බවත් 2021 දී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ (ASIO) ප්‍රධානී මයික් බර්ජස් හෙළිදරව් කළා. නමුත් මෙම ඔත්තුකරුවන් කිනම් රටක අයදැයි ඔහු හෙළිකළේ නැහැ.

ABC වාර්තාව පවසන්නේ ඉන්දියාවට ද අපකීර්තියක් නොවන ලෙස මෙම සිව්දෙනා වැඩි ප්‍රසිද්ධියකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටමං කළ බවයි.

මෙම ඒජන්තයින් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ වෙළෙඳ තොරතුරු සොරාගැනීමටත්, දේශපාලකයන් සමග සබඳතා වර්ධනය කරගැනීමටත්, ඔස්ට්‍රේලියාවේ වසන ඉන්දියානුවන් පිළිබඳ විමසිල්ලෙන් සිටීමටත් උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වසන කාලිස්ථාන්වාදීන් පිළිබඳ ඔවුන් තොරතුරු සොයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. කාලිස්ථාන්වාදීන් යනු පන්ජාබය සික් ජනයාගේ ස්වාධීන රාජ්‍යයක් වියයුතු බව විශ්වාස කරන අය යි. ඔස්ට්‍රේලියාවේ සිටිය ද තමන්ට ඉන්දියානු බලධාරීන් විසින් තර්ජනය කරන බව කාලිස්ථාන්වාදීන් චෝදනා කරනවා.

ඉන්දියාව සමග ඔස්ට්‍රේලියාවට ඇති සමීප සබඳතාව හේතුවෙන් ඉන්දියාව අපකීර්තියට ලක් නොවන අන්දමින් ඔස්ට්‍රේලියාව කටයුතු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. විශේෂයෙන්ම චීනයේ නැගීමට ප්‍රතිපක්ෂව තිබෙන රටක් ලෙසත්, පොදුවේ නැගී එන ආර්ථික බලවතෙක් ලෙසත්, එකම ආරක්ෂක එකමුතුවෙහි සාමාජිකයන් ලෙසත් ඉන්දියාව ඔස්ට්‍රේලියාවට වැදගත් වනවා.

Example Image