hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 12, ප.ව. 8:24



නේටෝ සංවිධානයේ සමුළුවේ අවසන් දිනයේදී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දෙදෙනා පැටලීමෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ මානසික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නය නැවත ඇවිලී තිබෙනවා.

සමුළුවේ තම අවසන් කතාව අවසාන කරමින් තමන් යුක්‍රේන ජනාධිපතිවරයාට ආරාධනා කරන බව පැවසූ බයිඩන්, “ජනාධිපති පුටින්” ලෙස ඔහුව ඇමතුවා. පසුව බයිඩන් තමාව නිවැරදි කරන්නට කටයුතු කළ නමුත් එම වරද පිළිබඳ විශාල කතාබහක් ඇතිවුණා.

මේ අතර බයිඩන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු උප ජනාධිපති කමලා හැරිස් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම පටලාගත්තා.

ජූනි 27 වනදා ට්‍රම්ප් සමග පැවති පළමු විවාදයේදී බයිඩන් හැසිරුණ ආකාරය හේතුවෙන් ඔහුගේ යෝග්‍යතාව පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා. මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් සමහරෙක් ඔහු ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බව පවසන්නට පටන් ගෙන තිබෙනවා. මේ අතරට සෙනට් සභිකයකු ද එක්වුණා. ඔහු වර්මොන්ට් ප්‍රාන්ත සෙනට් සභික පීටර් වෙල්ච්. එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයට මූල්‍ය ආධාර ලබාදෙන ප්‍රධාන පුද්ගලයකු වන ප්‍රකට නළු ජෝර්ජ් ක්ලූනි ද බයිඩන් ජනාධිපති තරගයෙන් ඉවත්විය යුතු බව සඳහන් කරනවා.

බයිඩන් වෙනුවට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳ ද කතාබහක් මතුව තිබෙන නමුත් ඔහු පවසන්නේ තමන් තරගයෙන් ඉවත් නොවන බවයි. ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂයට ඔහුව ඉවත් කිරීම අත්‍යවශ්‍ය නම් එය එතරම් පහසු නොවනු ඇති.