hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 21, ප.ව. 11:11



පහළොස්වන BRICS රාජ්‍ය නායක හමුව අගෝස්තු 22 වනදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා, චීන ජනාධිපති ෂී ජින්පිං, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මෙම සමුළුවට එක්වනවා. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඊට සහභාගී වන්නේ නැහැ. එයට හේතුව අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් ඔහුට එරෙහිව යුධ අපරාධ චෝදනා යටතේ වරෙන්තුවක් නිකුත් කර තිබීමයි. දකුණු අප්‍රිකාව එම අධිකරණයේ සාමාජිකයකු බැවින් එරටට පුටින් පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාව වෙත බලපෑම් එල්ල වුණා.

පුටින් වෙනුවට BRICS සමුළුව සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රොෆ් සහභාගී වන අතර පුටින් අන්තර්ජාලය ඔස්සේ ඊට එක් වේ යයි අපේක්ෂා කෙරෙනවා.

BRICS සමුළුව පවත්වනු ලබන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයකදී යි. රටවල් ගණනාවක් එහි සාමාජිකත්වය ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබෙන අතර ඒ පිළිබඳ ද සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම BRICS සංවිධානය G-7 කණ්ඩායමට විකල්පයක් ලෙස වර්ධනය වියයුතු යයි චීනය ප්‍රකාශ කර තිබුණා. BRICS සමග එක්වීමට අපේක්ෂා කරන රටවල් ඇතුළු රටවල් 40 ක පමණ නායකයින් හා නියෝජිතයින් මෙවර සමුළුව නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන බව ද වාර්තා වුණා.