hit counter

2025 නොවැම්‍බර් මස 19 වන බදාදා

2025 නොවැම්‍බර් 19, පෙ.ව. 11:38



ජෙෆ්රි එප්ස්ටීන් සම්බන්ධව වන පරීක්ෂණයන්ට අදාලව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු මහජනතාවට නිදහස් කිරීම සඳහා ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවක් එක් මන්ත්‍රීවරයකුගේ පමණක් විරෝධය සහිතව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කෙරුණා.

මන්ත්‍රීවරුන් 427 දෙනකුගේ අනුමැතිය එම පනත් කෙටුම්පතට ලැබුණා. විරෝධය දැක්වූයේ ලුවිසියානා ප්‍රාන්තයේ කොන්ග්‍රස් සභිකයකු වන ක්ලේ හිගින්ස් පමණයි.

ඉන් අනතුරුව සෙනට් සභාවට ද එම යෝජනාව ඉදිරිපත් වූ අතර එහි අනුමැතිය ද වහාම ඊට ලැබුණා. මේ අනුව එම පනත් කෙටුම්පත ට්‍රම්ප්ගේ අත්සන සඳහා ධවල මන්දිරය වෙත යැවෙනු ඇති.

ධවල මන්දිර ආරංචිමාර්ග පවසන්නේ ඔහු ඊට අත්සන් තැබීමට සූදානම් බවයි.

මෑතක් වනතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ලිපිගොනු නිදහස් කිරීම පිළිබඳ සිය දැඩි විරෝධය පළකරමින් සිටියා. නමුත් ඔහුගේම පක්ෂයේ සැලකිය යුතු පිරිසක් ඔහුට එරෙහිව කටයුතු කරන බවත්, ඔහුට එය වළක්වාගත නොහැකි බවත් පෙනීගිය විට ට්‍රම්ප් සිය තීරණය වෙනස් කළා.

ජෙෆ්රි එප්ස්ටීන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මෙම තොරතුරු හෙළිදරව් වීම වළක්වාගැනීමට විවිධ උත්සාහයන් ගන්නා බව පෙනී යනවා. මේ වනවිට එප්ස්ටීන් සමග වූ සබඳතා හේතුවෙන් එංගලන්ත රජ පවුලේ හිටපු කුමාරයකු වූ ඇන්ඩෲට තම කුමාර පදවියත් අහිමිව තිබෙනවා.

බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරයන්ට ලක් කිරීම සහ ඔවුන් වෙනත් පුද්ගලයන්ට සැපයීම ආදී චෝදනා එල්ල වූ ජෙෆ්රි එප්ස්ටීන් 2019 දී බන්ධනාගාරගතව සිටියදී මියගියා. ඔහුගේ මරණය සිය දිවි නසාගැනීමක් යැයි නිගමනය කෙරුණ ද ඒ පිළිබඳව ද සැක මතුවී තිබෙනවා.