hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 12:00



අන්තර්ජාතික වෙළෙඳාම තුළ ඇමරිකානු ඩොලරයෙහි බලපෑම අඩුවීම නොවැළැක්විය හැකි ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අවධාරණය කරනවා.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන BRICS රාජ්‍ය නායක හමුවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ ඔහු මේ බව සඳහන් කළා.

තවද​, ලෝක ආර්ථිකයෙහි G-7 රටවලට වඩා වැඩි පංගුවක් මේ වනවිට ද BRICS රටවල් අත්කරගෙන සිටින්නේ යයි ද ඔහු පෙන්වා දුන්නා. ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලෝක ආර්ථිකයෙන් සියයට 31 ක් BRICS රටවල්වලට අයත් බවත් G-7 රටවල පංගුව සියයට 30 ක් බවත් ඔහු කියා සිටියා.

ඉදිරියේදී රුසියාවේ අවධානය “උතුරුදිග සාගර මාර්ගය​” සහ “උතුරු දකුණු ගමනාගමන කොරිඩෝව​” දියුණු කිරීම කෙරෙහි යොමුවන බව පුටින් පැවසුවා. ආක්ටික් සාගරය ඔස්සේ උතුරුදිග මාර්ගය දිවෙන අතර රුසියාවේ උතුරුදිග සහ බෝල්ටික් මුහුදු වරායන් ඉන්දියානු සාගරය දෙසට සම්බන්ධ කිරීම උතුරු දකුණු ගමනාගමන කොරිඩෝවේ අරමුණයි.

දියුණු වන රටවලට රුසියාව විසින් කෙරෙන තෙල්, ධාන්‍ය සහ පොහොර සැපයීම දිගටම සිදුවනු ඇති බව ද පුටින් අවධාරණය කළා.

අන්තර්ජාතික අධිකරණයේ වරෙන්තුවක් ඇති බැවින් පුටින් දකුණු අප්‍රිකාවේ සංචාරය කරන්නේ නැහැ. ඔහුව සමුළුවේදී නියෝජනය කරන්නේ විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රොෆ් විසින්.