hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 7:00



එළඹෙන සති අන්තයේ ඉන්දියාවේ නව දිල්ලියෙහි පැවැත්වෙන G-20 සමුළුව සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් වනවා. ඒ අතරින් නගර අලංකරණ කටයුතු සඳහා විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. නගරයේ කෙරෙන වෙනස්කම් අතර විවිධ ස්ථානවල කළු වඳුරන්ගේ (langur) පින්තූර සවි කර තිබෙනු දකින්නට ලැබෙනවා.

මේ ආකාරයෙන් මෙම සතුන්ගේ රූප සවි කෙරෙන්නේ නගරාලංකරණයේ අංගයක් ලෙස ම නොව රිළවුන් බියවැද්දීමටයි. දිල්ලියේ රිළවුන් වෙතින් G-20 සඳහා පැමිණෙන විදෙස් අමුත්තන්ට කිසියම් හානියක් නොවනු පිණිස රිළවුන් එම අමුත්තන් ගැවසෙන ප්‍රදේශ වෙතින් ඉවත් කිරීමට මෙම වඳුරු රූප සවි කර තිබෙනවා. වඩා විශාල වඳුරාට බියෙන් රිළවුන් එම ප්‍රදේශ කරා නොපැමිණේ යයි අපේක්ෂා කෙරෙනවා.

දිල්ලි නාගරික සභාවෙහි සතිෂ් උපධ්‍යායි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ 2020 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය අවස්ථාවේ ද මෙම උපක්‍රමය සාර්ථක වූ බවයි.

මේ අතර සැප්තැම්බර් 9-10 දෙදින තුළ පැවැත්වෙන සමුළුව සඳහා දිල්ලියේ වෙළෙඳුන් ද සූදානම් වනවා. රටවල් 40 ක පමණ සහ වෙනත් සංවිධානවල දූත පිරිස් දිල්ලියට පැමිණීමට නියමිත බැවින් මෙය ඉතා වැදගත් අවස්ථාවක් ලෙස ඔවුන් දකිනවා. ඇතැම් වෙළෙඳුන් සිය සහයට භාෂා පරිවර්තකයන්ගේ සේවය පවා ලබාගෙන ඇතැයි වාර්තා වනවා.