hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 08, පෙ.ව. 11:56



යුක්‍රේනය වෙත මිරාජ් 2000-5 ප්‍රහාරක යානා ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ජූනි 6 වනදා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම යානා සඳහා නියමුවන් පුහුණු කිරීමට මාස පහක්, හයක් ගතවනු ඇති බවයි. එම පුහුණුකිරීම් ප්‍රංශයේදී වනු ඇතැයි ද ඔහු කියා සිටියා. මෙම යානා ලබාදෙන කාල රාමුවක් පිළිබඳ හෝ යානා කීයක් ලබාදෙන්නේද යන්න ගැන හෝ මැක්‍රොන් කියා සිටියේ නැහැ.

මිරාජ් 2000-5 ගුවන් යානා ඩසෝල් සමාගම විසින් නිපදවෙන සුපර්සොනික් යානා විශේෂයක්. ඒවා සිව්වන පරම්පරාවේ ප්‍රහාරක යානා වනවා. ගුවනේ සිට ගුවනේ ඉලක්ක මෙන්ම ගොඩබිම ඉලක්ක ද ලබාගත හැකි එම යානාවලට විවිධ මිසයිල වර්ග සහ බෝම්බ ගෙන යා හැකියි. එහෙයින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහරදීමට ද එය යොදාගන්නට හැකි වේ යයි විශ්වාස කෙරෙනවා.

ප්‍රංශය විසින් දැනට මෙවැනි යානා 40 ක් පමණ භාවිතා කරන​ බව විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් මෙම දශකය අවසන් වනවිට ඒවා වෙනුවට ඩසෝල් සමාගමේ රෆාල් ගුවන් යානා හඳුන්වා දෙන්නට නියමිතව තිබෙනවා.

මේ වනවිට යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබාදීමට රටවල් හතරක් පොරොන්දු වී තිබෙනවා. එම රටවල් වන්නේ නෙදර්ලන්තය​, බෙල්ජියම​, නෝර්වේ සහ ඩෙන්මාර්කයයි. එමෙන්ම මෙයින් පළමු යානා කිහිපය ගිම්හානයෙදී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.