hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 04, ප.ව. 2:44



ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා වූ සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඊයේ ලිබියාවේ සින්ටාන් නගරය අසළ ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබෙනවා.

දැනට ලැබෙන තොරතුරු අනුව කියැවෙන්නේ ඔහුගේ නිවස වෙත කඩාවැදුණු පුද්ගලයන් සිව් දෙනකු විසින් මෙම ඝාතනය කෙරුණ බවයි.

මේ අවස්ථාවේ නිවසෙහි ආරක්ෂක කැමරා ද ක්‍රියා විරහිත වූයේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තාවන් හි කියැවුණා.

1972 ජූනි 25 වනදා උපන් සයිෆ් අල්-ඉස්ලාම් , ගඩාෆිගේ දෙවැනි විවාහයේ පළමු දරුවායි. ඔහු 2000 සිට 2011 දක්වා කාලය තුළ ගඩාෆිගේ අනුප්‍රාප්තිකයා වේ යැයි පොදු විශ්වාසයක් වුණා. එහෙත් ඔහු සිය පියාගේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාරගත්තේ නැහැ.

ගඩාෆි බලයෙන් නෙරපනු ලැබීමෙන් අනතුරුව සයිෆ් අල්-ඉස්ලාම් අතුරුදහන් වූ අතර 2011 නොවැම්බර් මාසයේදී සින්ටාන් හි ක්‍රියාත්මක මිලීෂියා කණ්ඩායමක් විසින් ඔහුව අල්ලාගනු ලැබුණා. සයිෆ් අල්-ඉස්ලාම්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවක් තිබූ නමුත් සින්ටාන් මිලීෂියාව ඔහුව කිසිවකුට බාරදුන්නේ නැහැ. ඔහු 2017 දී නිදහස් කෙරෙන තෙක් එම මිලීෂියාව භාරයේ පසුවුණා. නිදහස ලද පසු සයිෆ් අල්-ඉස්ලාම් සින්ටාන් ප්‍රදේශයේ අප්‍රකටව ජීවත් වුණා.

2021 දී ලිබියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සයිෆ් අල්-ඉස්ලාම් නාම යෝජනා අත්සන් කළා. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කෙරුණ නමුත් පසුව එම තීරණය අවලංගු කෙරුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරණය පැවැත්වුණේ නැහැ.

සයිෆ් අල්-ඉස්ලාම් ඝාතනය කවුරුන් විසින් සිදු කළේදැ යි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගඩාෆිගේ ජීවතුන් අතර සිටින දරුවන් අතුරින් ලිබියාව තුළ ජීවත් වූයේ සයිෆ් අල්-ඉස්ලාම් පමණයි.