hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 7:39



හමාස් සංවිධානය විසින් ඇමරිකානු ප්‍රාණ​ඇපකාරියන් දෙදෙනකු නිදහස් කරනු ලැබුණා. ඊයේ එම සංවිධානය කියා සිටියේ මානුෂීය හේතූන් මත මෙම දෙදෙනා නිදහස් කරන බවයි.

එමෙන්ම තම සංවිධානය පිළිබඳ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කරන චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට ද තමන් මෙම පියවර ගන්නා බව ද ඔවුන් සඳහන් කරනවා. බයිඩන් ප්‍රකාශ කර තිබුණේ හමාස් සංවිධානය ISIS ත්‍රස්තවාදීන්ට ද වඩා දරුණු ත්‍රස්ත සංවිධානයක් බවයි.

ඇමරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ පදිංචි 59 හැවිරිදි ජූඩිත් රානන් සහ ඇගේ දියණිය වන 18 හැවිරිදි නටලි රානන් මෙසේ නිදහස ලබා තිබෙනවා. ඔවුන් ඊශ්‍රායලයට පැමිණ තිබුණේ ඥාතියකුගේ උපන් දිනයක් සැමරීම සඳහා යි. ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරය අවස්ථාවේ ඔවුන් සිටියේ හමාස් සංවිධානය විසින් පහර දුන් කිබුට්සයක යි.

මේ අතර​, ප්‍රාණඇපකරුවන් නිදහස් කරගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වාගෙන යනු පිණිස ගාසා තීරය ආක්‍රමණය කිරීම ප්‍රමාද කරන ලෙස ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් ඊශ්‍රායලය වෙත බලපෑම් එල්ල වන්නේ යයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා තිබුණා.

කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන් ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනවා. හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ​ඇපකරුවන් සංඛ්‍යාව 200 ක් පමණ වන බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ අතර විදේශිකයන් ද රැසක් වනවා.