hit counter

2024 ඔක්‍තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 14, ප.ව. 6:34



ඊශ්‍රායලයේ බෙන්යමිනා හි පිහිටි පුහුණු කඳවුරක් වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබළුන් සිව් දෙනකු මියගොස් තවත් 58 දෙනකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලය වාර්තා කළා.

ලෙබනනයේ සිට මුහුද දෙසින් පැමිණ ඊශ්‍රායලය වෙත ඇතුළු වූ ඩ්‍රෝන දෙකකින් එකක් මෙසේ කඳවුරට කඩාවැදී ඇති බවයි ඊශ්‍රායලය පවසන්නේ. අනෙක් ඩ්‍රෝනය විනාශ කිරීමට ගුවන් ආරක්ෂණ පද්ධති සමත්ව ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් කඳවුරේ සෙබළුන්ට ඩ්‍රෝනය පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් ලැබී නැහැ. එය කඳවුරේ සෙබළුන් ආහාර ගන්නා ශාලාව වෙත කඩාවැදී ඇති බවයි වාර්තා වුණේ.

හිස්බුල්ලා සංවිධානය විසින් භාවිතා කරන මිස්රඩ් හෙවත් අබබිල්-T නම් වර්ගයේ ඩ්‍රෝනයක් මෙසේ කඳවුරට පහරදීම සඳහා යොදාගෙන තිබෙන බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළා.

මෙම ඩ්‍රෝනය කිලෝ මීටර් 120 ක් දක්වා ගමන් කළ හැකි, පැයට කිලෝ මීටර් 370 ක උපරිම වේගයෙන් යුක්ත​, කිලෝග්‍රෑම් 40 ක පුපුරන ද්‍රව්‍ය ගෙන යා හැකි, උපරිම වශයෙන් කිලෝමීටර් 3 ක් උසින් ගමන් කළ හැකි කමිකසේ ඩ්‍රෝනයක් බවයි සඳහන් වන්නේ.

හිස්බුල්ලා සංවිධානය පවසන්නේ දකුණුදිග ලෙබනනයේ යුධ මෙහෙයුම් නවත්වන තෙක් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පහරදෙන බවයි.

Example Image