hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 1:54



ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් දස ගුණයක් ශක්තිමත් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් නොබෝදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා සෙබළ පිරිසක් හමුවූ තවත් අවස්ථාවක ඔහු කියා සිටියේ හිස්බුල්ලා සංවිධානය තමන්ට පහර දීමෙන් දරුණු ප්‍රතිවිපාක කැඳවාගන්නා බවයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර නිතර වෙඩි හුවමාරුවීම් සහ පහරදීම් වාර්තා වුණා. සති දෙකක කාලයක් තුළ දී ඊශ්‍රායල සොල්දාදුවන් සය දෙනෙක්, හිස්බුල්ලා සටන්කාමීන් 13 දෙනෙක් සහ පලස්තීන සටන්කාමීන් පස් දෙනෙක් මෙම ගැටුම් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වී තිබුණා.

හිස්බුල්ලා හි පිරිස් ශක්තිය 100,000 ක් වන බව එම සංවිධානයේ නායක හසන් නස්රල්ලා 2021 දී පවසා තිබුණා. මේ අතර ඔවුන් සතුව රොකට් 150,000 ක් පමණ වේ යයි විශ්වාස කෙරෙනවා.

ඊශ්‍රායලය පොරොන්දු සහ තර්ජන මගින් හිස්බුල්ලා සංවිධානය දැනට පවතින සටන්වලට වඩා සක්‍රිය ලෙස දායක වීම වළක්වාගැනීමට උත්සුක වනවා. ගලාන්ට් පසුගිය දිනෙක කියා සිටියේ යුද්ධය උතුරු දෙසට රැගෙන යාමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවයි. එහෙයින් හිස්බුල්ලා සංවිධානය සාමය ආරක්ෂා කරයි නම් පවතින තත්ත්වය එලෙසම පවත්වාගැනීමට තමන් කැමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක සාචි හනෙග්බි පවසා තිබුණේ හිස්බුල්ලා සමග වන යුද්ධයක් ලෙබනනයේ විනාශය ගෙනෙනු ඇති බවයි.