hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 9:49



පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි වංචා නඩුවක තීන්දුව ලබාදුන් ලාහෝර් නුවර අධිකරණයක් ඔහුව වසර තුනක සිර දඬුවමකට යටත් කළා. මේ අනුව ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඔහුට එල්ල වී ඇති චෝදනාව නම්, අගමැති ලෙස කටයුතු කළ 2018-2022 වකවානුව තුළ විදේශයන් වෙතින් ලැබුණ ත්‍යාග රාජ්‍ය භාණ්ඩාගරය (තොශකනා) වෙත​ ඉදිරිපත් නොකර ඒවා විකුණා පාකිස්ථාන රුපියල් මිලියන 140 ක් වංචා කළ බවයි.

විනිසුරු හුමායුන් දිලාවර් සිය නඩු තීන්දුව මගින් කියා සිටින්නේ ඉම්රාන් ඛාන් විසින් සිදුකළ මූල්‍ය වංචාව සාක්ෂි සහිතවම පැහැදිලි ව ඇති බවයි.

ඔහුට පාකිස්ථාන රුපියල් 100,000 ක දඩයක් ද නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් තවත් සය මසකින් සිර දඬුවම දිගු කිරීමට නියම වී තිබෙනවා.

මේ අතර තමන්ට එරෙහිව ලැබුණ තීන්දුව ප්‍රතික්ෂේප කරන ඉම්රාන්, ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන ලෙස සිය අනුගාමිකයන් වෙතින් ඉල්ලා සිටියා.

පාකිස්ථානයේ මහ මැතිවරණය මෙම වසර අගදී පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති පසුබිමක ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙසේ නඩු තීන්දුවක් ලැබීම දේශපාලනිකව වැදගත් සිදුවීමක් වනවා.