hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 අගෝස්‍තු 29, ප.ව. 9:21



පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ලබා දී තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටවීමට අද ඉස්ලාමාබාද් මහාධිකරණය තීරණය කළා.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව නඩු තීන්දුවෙන් ඔහු නිදහස් කිරීමක් එහිදී සිදුවූයේ නැහැ. ඒ අනුව ඔහුට පනවා තිබූ වසර පහක දේශපාලන තහනම ද අහෝසි නොවන බවයි වාර්තා වන්නේ.

තොශකානා නඩුව හෙවත් තමන්ට ලැබුණ ත්‍යාග රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් නොකර අලෙවි කිරීම පිළිබඳව වරදකරු කරමින් ඉස්ලාමාබාද් හි අධිකරණයක් විසින් පනවන ලද වසර තුනක සිර දඬුවම මෙසේ අත් හිටවනු ලැබුණා.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් පනත අනුව ඉදිරිපත්ව ඇති චෝදනා හේතුවෙන් ඔහු දිගටම බන්ධනාගාරයෙහි රැඳවීමට ද නියම කරනු ලැබ තිබෙනවා. එම චෝදනාවෙන් කියැවෙන්නේ ඔහු රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයක් ප්‍රසිද්ධ වේදිකාවේ කියැවීමෙන් රාජ්‍ය රහස් පනත උල්ලංඝණය කළ බවයි.

තමන් බලයෙන් නෙරපීම සඳහා ඇමරිකානු රජය කුමන්ත්‍රණය කළ බව සඳහන් කරමින් ඔහු වරක් කිසියම් ලියැවිල්ලක් සිය කතාවකදී ප්‍රදර්ශනය කළා. නමුත් එහි අන්තර්ගතය එම අවස්ථාවේ ඔහු පැහැදිලිව පෙන්වූයේ නැහැ. මේ අතර මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු හා එවකට ඇමරිකාවේ පාකිස්ථාන තානාපති අතර හුවමාරු වූ බව පණිවිඩ බව කියන රහස් පණිවිඩවල විස්තර මෑතකදී මාධ්‍යවල පළවී තිබුණා.