hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 9:06



1984 ඔක්තෝබර් 31 වනදා හිටපු ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි ඝාතනයට සම්බන්ධ වූ ඇගේ ආරක්ෂකයකු වූ බීන්ත් සිංගේ පුත්‍රයා සරබ්ජීත් සිං කල්සා, එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන තිබෙනවා.

පන්ජාබයේ ෆරීද්කෝට් ආසනයට තරග වැදුණ ඔහු එහිදී ඡන්ද 298,062 ක් ලබාගෙන තිබෙන අතර දෙවන ස්ථානය ලබාගත් ආම් ආද්මි පක්ෂයේ කරම්ජිත් සිං අන්මොල්ට වඩා වැඩි ඡන්ද 70,053 ක් ඔහුට ලැබී තිබෙනවා.

සරබ්ජිත් සිං කල්සා සික් ආගමට ඇතිව ඇති තර්ජන​, පන්ජාබ තරුණයින් මුහුණදෙන මත් උවදුර ආදී ගැටළු පිළිබඳ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී අදහස් දැක්වූවා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු පන්ජාබ් ප්‍රාන්ත සභාවට සහ පාර්ලිමේන්තුවට තරග කර ඇතත් ඒ අවස්ථාවලදී ජයගන්නට ලැබුණේ නැහැ.

පසුගිය සමයේ පන්ජාබයේ දැඩි දේශපාලන ආතතියක් වර්ධනය වෙමින් පවතින ලකුණු තිබූ අතර මෙය එම තත්ත්වයෙහි දිගුවක් ලෙස දේශපාලන විචාරකයන් දකිනවා. පන් ජාබයට වෙනම රටක් ඉල්ලන කාලිස්ථාන් ව්‍යාපාරය පසුගිය සමයේ විශේෂයෙන්ම බටහිර රටවල විශාල උද්ඝෝෂණ සංවිධානය කළා. පන්ජාබයේදී ද අම්රිත්පාල් සිං නමැත්තකු වාරිස් පන්ජාබ් ඩේ නම් සංවිධානයක් පිහිටුවාගෙන කිසියම් ව්‍යාපාරයක් ගොඩනගමින් සිටියා. ඔහු දැනට බන්ධනාගාරගතව සිටින අතර මෙවර ඔහු ද මැතිවරණයට ඉදිරිපත්ව ජයගෙන තිබෙනවා.

කාලිස්ථාන් ව්‍යාපාරයට පන්ජාබයේ බිමෙහි විශාල සහයක් නැහැ. එහෙත් පන්ජාබයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න හේතුවෙන් මෙවැනි ජාතිකවාදී, ආගම්වාදී පිරිස් නැග එන බවයි ඉන්දියාවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ශේකර් ගුප්තා පසුගිය දිනෙක ප්‍රකාශ කළේ.