hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 25, ප.ව. 5:58



ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක් ෂක හමුදා සඳහන් කළා.

අද එරට වෙලාවෙන් අලුයම 5 ට හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත දැවැන්ත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන ඊශ්‍රායල ආරක්ෂක හමුදා, තමන් ඊට පෙර එම රොකට් සහ ඩ්‍රෝන දියත් කරන ස්ථානයන්ට පහරදුන් බව කියා සිටිනවා.

සිය ජෙට් යානා සියයක් පමණ ඊට සහභාගී වූ බවයි ඊශ්‍රායලය පැවසූයේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට හිස්බුල්ලා සංවිධානය සමත් වුණා. එහිදී රොකට් සහ ඩ්‍රෝන 320 ක් පමණ දියත් කරන ලද බවයි වාර්තා වූයේ. එයින් ඇතැම් රොකට් සහ ඩ්‍රෝන ඊශ්‍රායලය වෙත කඩාවැදී ඇති නමුත් එයින් විශාල හානි නොවූ බවයි ඊශ්‍රායලය පවසන්නේ. බොහොමයක් රොකට් සහ ඩ්‍රෝන අයර්න් ඩෝම් පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි ටෙල් අවිව් හි කිර්යා හි භූගත මූලස්ථානයේ සිට සිය මෙහෙයුම් ක්‍රියාවට නගන බව වාර්තා වුණා. රටෙහි පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර තවත් හිස්බුල්ලා ප්‍රහාර එල්ල විය හැකි යයි අනතුරු අඟවනු ලැබ තිබුණා.

කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය පසුව ප්‍රකාශ කළේ අද දිනට සිය ප්‍රහාර අවසන් බවයි. තම ඉලක්ක සාර්ථක කරගත් බව ද ඔවුන් කියා සිටිනවා.

හිස්බුල්ලා සංවිධානය පවසන්නේ මෙම ප්‍රහාරය මෑතකදී සිය හමුදා ප්‍රධානී ෆුවාඩ් ෂුකූර් මරාදැමීම සඳහා පළිගැනීමේ පළමු පියවර බවයි.