hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 2:06



ඊශ්‍රායලය වෙත පහරදෙමින් හිස්බුල්ලා සංවිධානය සිදුකරගන්නේ බරපතල වරදක් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් පවසනවා.

උතුරුදිග ඊශ්‍රායලයේ 91 වන ඩිවිෂන කඳවුරේදී සෙබළුන් අමතමින් ඔහු කියා සිටියේ මෙම ගැටුම් ලෙබනනය වෙත ව්‍යාප්ත වුවහොත් එහි විපාක විඳිනු ඇත්තේ ලෙබනන ජනතාව බවයි.

ගාසා හි සිදුකරන දේ බේරූට්වල ද සිදුකිරීමට ක්‍රමය තමන් දන්නා බව ගලාන්ට් කියා සිටියා.

පසුගියදා ප්‍රසිද්ධ කතාවක් කළ හිස්බුල්ලා සංවිධානයේ මහලේකම් හසන් නස්රල්ලා ඊශ්‍රායලයට එරෙහිව කෙරෙන ප්‍රහාර වැඩි කරන බවට නිශ්චිතව සඳහන් කළේ නැහැ. එහෙත් ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව කරන ප්‍රහාර නවත්වන්නේ නැති නම් යුද්ධය ව්‍යාප්ත විය හැකි යයි අනතුරු ඇඟවීමක් ඔහු විසින් සිදු කෙරුණා.

ඊශ්‍රායලය සය වරක් ලෙබනනය ආක්‍රමණය කර තිබෙනවා. එමෙන්ම 1982 ආක්‍රමණයෙන් අනතුරුව 2000 වනතුරු දකුණුදිග ලෙබනනයේ ඊශ්‍රායල හමුදා රැඳී සිටියා. හිස්බුල්ලා සංවිධානය බිහිවූයේ 1982 ඊශ්‍රායල ආක්‍රමණයෙන් අනතුරුවයි. 2006 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර දින 34 ක යුද්ධයක් සිදුවුණා. එහිදී දකුණු ලෙබනනයට මෙන්ම බේරූට් නගරයේ දකුණුදිගට දැඩි හානි සිදුවුණා.