hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 21, ප.ව. 11:30



ජපානයේ ඉරිදා පැවති උත්තර මන්ත්‍රණ සභා මැතිවරණයේදී අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන සෙන්සෙයිතෝ පක්ෂය සියයට 15 ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ආසන 14 ක් දිනාගැනීමට සමත් වුණා.

මෙය ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයේ ඉදිරි පිම්මක්. මේ සමගම ජපන් පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී ආසන 15 ක් එම පක්ෂය සතු වනවා.

පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙම මැතිවරණයේදී ආසන 39 ක් පමණක් ලබාගත් අතර ඊට ලැබුණ ඡන්ද ප්‍රතිශතය සියයට 24 ක් පමණ වුණා. ඔවුන් සමග සන් ධානගත කොමෙයිතෝ පක්ෂය ආසන 8 ක් පමණක් දිනාගත්තා.

ප්‍රධාන විපක්ෂය වන ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය ද සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කළා. අලුතින් බිහිවූ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපන් කොන්සර්වේටිව් පක්ෂය සියයට 5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් වුණා.

සම්ප්‍රදායික පක්ෂ සියල්ලම පාහේ පසුබසින අතරවාරයේ අන්ත දක්ෂිනාංශය පැහැදිලි නැගීමක් පෙන්නුම් කිරීම මෙවර මැතිවරණයේ වැදගත් අවස්ථාවක් වනවා.

ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙහි මන්ත්‍රීන් 248 දෙනකු වන අතර ඉන් 124 දෙනකු සඳහා සෑම වසර තුනකටම වරක් මැතිවරණයක් පැවැත්වෙනවා.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී – කොමෙයිතෝ සන් ධානයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමි වී තිබෙනවා. තරග නොකළ ආසනවලින් 75 ක් ඔවුන් අත පැවති අතර තරග පැවති ආසනවලින් 47 ක් පමණක් එම සන් ධානය දිනාගෙන තිබෙනවා.

සෙන්සෙයිතෝ පක්ෂයේ නායකයා වන්නේ සොහේයි කිමියා නම් දේශපාලකයෙක්. ඔහු 2007 සිට තරමක් කල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි කටයුතු කළ අයෙක්. පසුව යූ ටියුබ් චැනලයක් ඔස්සේ සිය අදහස් ජනගත කළ ඔහු මේ වනවිට සැලකිය යුතු ජාලයක් ගොඩනගාගෙන තිබෙනවා. 2020 දී කෝවිඩ් ලොක්ඩවුන් පියවරට එරෙහිව ඇරඹුණු සෙන්සෙයිතෝ පක්ෂය පසුව ඔහුගේ දේශපාලන අදහස් වන ජපන් අධිරාජය සැමරීම​, LGBTQ අයිතීන් ප්‍රතික්ෂේප කිරීම​, සංක්‍රමණික විරෝධය​, ගෝලීයකරණ විරෝධය ආදී ස්ථාවරයන් මත ගොඩනැගුණා.