hit counter

2025 ජූනි මස 20 වන සිකුරාදා

2025 ජූනි 20, පෙ.ව. 7:01



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ක් හමනේයි යනු නූතන හිට්ලර් බවත්, ඔහුට ජීවත්වීමේ අයිතියක් නොමැති බවත් ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රයල් කැට්ස් ඊයේ ප්‍රකාශ කළා.

ඔහු මේ ප්‍රකාශය කළේ දකුණු ඊශ්‍රායලයේ බීර්ශෙබා නගරයේ සොරෝකා රෝහල වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් අනතුරුවයි.

ඉරානය යුධ අපරාධ සිදු කරන බවත් මෙම ප්‍රහාරයේ පළිය ඉරාන නායකත්වයෙන් ගන්නා බවත් ඊශ්‍රායලය කියා සිටිනවා.

ඉරාන විදේශ ඇමති අබ්බාස් අරාග්චි අවධාරණය කළේ බීර්ශෙබා හි පිහිටි ඊශ්‍රායල හමුදා විධාන මධ්‍යස්ථානයක් ඉරානයේ ඉලක්කය වූ බවයි. ඒ අසළ පිහිටි මිලිටරි රෝහලකට එම ප්‍රහාරයේ කම්පනයෙන් හානි වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

තවද එම රෝහල ගාසා තීරයේ යුධ අපරාධයන් සිදුකරන “සයොන්වාදී හමුදාවන්ට” ප්‍රතිකාර ලබාදෙන ස්ථානයක් බව ද අරාග්චි අවධාරණය කරනවා.

ප්‍රහාරයෙන් හානි සිදුව ඇත්තේ රෝහලේ පැරණි ශල්‍ය වාට්ටුවට බවත් එයින් පුද්ගලයන් ඉවත් කර තිබූ බවත් වාර්තා වී තිබුණා.

මේ අතර ඊයේ ටෙල් අවිව් අසළ රමාට් ගන් හි දියමන්ති දිස්ත්‍රික්කය වෙත ද ප්‍රබල ඉරාන ප්‍රහාරයක් එල්ල වුණා. එයින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල හානි ද සිදුව තිබෙනවා.

ඊශ්‍රායලය ඊයේ ඉරානයේ අරාක් හි බැර ජලය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දුන්නා. නමුත් එම ප්‍රතික්‍රියාකාරකය ක්‍රියාත්මක තත්ත්වයෙන් පවතින්නක් නොවන බැවින් විකිරණ කාන්දු වීමක් සිදුව නැහැ.