hit counter

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 29, ප.ව. 3:48



පාලක ලිබරල් පක්ෂය කැනඩාවේ මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබා තිබෙනවා. අගමැති මාර්ක් කාර්නි සිය ආධාරකරුවන් ඉදිරියේ පෙනී සිට සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළා.

අද ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සවස 3 පමණ වනවිට ලිබරල් පක්ෂය ආසන 168 ක ජයගෙන ඇති බව තහවුරු වී තිබූ අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 144 ක ජය තහවුරු කරගෙන තිබුණා. ක්විබෙක් ප්‍රාන්තයේ ක්‍රියාත්මක බ්ලොක් ක්විබෙකුවා පක්ෂයට ආසන 23 ක් ලැබී තිබුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 7 කට පසුබැස තිබුණු අතර හරිත පක්ෂය එක් අසුනක් ලබාගෙන තිබුණා.

කොන්සර්වේටිව් නායක පියේර් පොලියේව්ගේ ආසනයේ ප්‍රතිඵල ඒ වනවිට නිකුත්ව තිබුණේ නැහැ. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජග්මීත් සිං තමන් තරග කළ ආසනයද පරාජයට පත්වූ අතර තමා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ද සඳහන් කළා.

මෙම මැතිවරණයේදී ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සහ ඔහු කැනඩාව ඇමරිකාවේ කොටසක් විය යුතු යැයි කරන ප්‍රකාශයයි. කාර්නි දිගින් දිගටම ට්‍රම්ප්ට ප්‍රතිපක්ෂව අදහස් දැක්වීම හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වර්ධනය වුණා. ට්‍රම්ප් ජනවාරියේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර සමීක්ෂණ වාර්තා අනුව පෙනී ගියේ ලිබරල් පක්ෂය එළඹෙන මැතිවරණයේදී අන්ත පරාජයක් අත්කරගනු ඇති බවයි. එම තත්ත්වය ට්‍රම්ප්ගේ ආගමනයෙන් පසු කණපිට හැරුණා.