hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 01, ප.ව. 9:45



ඊයේ පැවති ප්‍රංශ මහමැතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල අනුව තුන්වන ස්ථානයට පත්වූ එම්මානුවෙල් මැක්‍රොන් ජනාධිපතිවරයාගේ අන්සම්බ්ල සන්ධානය දෙවන වටයේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට අද රැස්ව තිබෙනවා.

මෙම සන්ධානය තුළ දෙවන වටයේදී ජාතික රැළිය පරාජය කිරීම පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බව පෙනෙන්නට තිබෙනවා. මෙම මතභේදය ඇතිව තිබෙන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ (New Popular Front) සමග උපක්‍රමික එකඟතාවයක් ඇතිකරගැනීම පිළිබඳවයි.

දෙවන වටයේ ඡන්ද විමසීමේ දී තුන්කොන් සටන් තිබෙන ස්ථානවල තම අපේක්ෂකයා තුන්වන ස්ථානයේ සිටී නම් සහ ජයග්‍රහණය කළ හැකි යයි නොපෙනේ නම් එම අපේක්ෂකයන්ට තරගයෙන් ඉවත් වන ලෙස උපදෙස් දෙන බව නව ජනතා පෙරමුණේ ප්‍රධාන පක්ෂයක් වන නොනැමුණ ප්‍රංශය (France Unbowed) හි ශෝන්-ලුක් මිලැන්ශොන් පැවසුවා.

තමන් ද වාමාංශික පෙරමුණ සමග එම ආකාරයේ එකඟතාවයක් ඇතිකරගන්නට කැමති බව අන්සම්බ්ල සන්ධානයේ කොටස්කරුවන් වන එඩුවාර්ඩ් ෆිලීපේ සහ ෆ්‍රංශුවා බෙයිරූ ප්‍රකාශ කර සිටියා. නමුත් තමන් මිලන්ශොන්ගේ පක්ෂයේ අපේක්ෂකයන්ට සහය නොදෙන බවත් ඔවුන් කියා සිටියා. ඉතිරි වාමාංශික පක්ෂ සමග තමන්ට ගැටළුවක් නැතැයි ඔවුන් කියා සිටියා.

කෙසේ වෙතත් නොනැමුණ ප්‍රංශය යනු නව ජනතා පෙරමුනේ වැදගත්ම පාර්ශවකාර පක්ෂයක් වන හෙයින් මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක වී තිබෙනවා.

මේ අතර ජාතික රැළිය (National Rally) පක්ෂයේ ප්‍රබලයින් ද සිය උපක්‍රම පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වුණා. තමන්ට පාර්ලිමේන්තු බහුතරය ලැබේ යයි ඔවුන් විශ්වාසය පළකරනවා.