hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2025 ඔක්‍තෝබර් 29, ප.ව. 7:19



වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානුවන් විසින් කරන ලද උත්සාහයක් පිළිබඳ හෙළිවී තිබෙනවා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන ලද පරිදි මෙම උත්සාහය ඇරඹී ඇත්තේ 2024 වසරේ ඩොමිනිකන් ජනරජයේදී සිදුවූ හමුවීමකින්.

ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒජන්තයකු වූ එඩ්වින් ලෝපේස් සහ මදුරෝගේ ගුවන් නියමුවා වූ ජෙනරල් බිට්නර් විලේගාස් මෙසේ හමුවී තිබෙනවා.

මෙහිදී ලෝපේස් ගුවන් නියමුවාගෙන් ඉල්ලා ඇත්තේ මදුරෝ අත්අඩංගුවට ගතහැකි ස්ථානයක් වෙත ඔහුගේ ගුවන් යානය රැගෙන එන ලෙසයි.

ජෙනරල් විලේගාස් එම යෝජනාවට මුලදී පිළිතුරක් දී නැහැ. ඔහු ලෝපේස් සමග විටින් විට පණිවිඩ හුවමාරු කරගෙන ඇති අතර ලෝපේස් විශ්‍රාම ගත් පසු ද එම කතාබහ සිදුව තිබෙනවා.

එම කතාබහ අවසන්ව ඇත්තේ 2025 ජූලි මාසයේදී විලේගාස් විසින් ලෝපේස්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන්.

නිකුලස් මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි චෝදනා නගමින් ඇමරිකානු අධිකරණයක විමර්ශනයක් සිදුවනවා. ඔහු වෙනෙසුවේලාවේ නිත්‍යනුකූල ජනාධිපති ලෙස ඇමරිකාව විසින් පිළිගැනෙන්නේ නැහැ.

මේ වනවිට ඇමරිකානු නාවික යාත්‍රා කිහිපයක් වෙනෙසුවේලා මුහුදු සීමාව අසළ රැඳී සිටිනවා.

රිපබ්ලිකන් පක්ෂ සෙනට් සභිකයකු වන රික් ස්කොට් මෑතකදී සඳහන් කළේ මදුරෝ කඩිනමින් චීනයේ හෝ රුසියාවේ රැකවරණය සොයා යා යුතු බවයි.