hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2024 ජනවාරි 15, ප.ව. 6:48



මාලදිවයිනෙහි රැඳී සිටින ඉන්දීය හමුදා සාමාජිකයන් මාර්තු 15 වනදා වනවිට එරටින් පිටව යා යුතු බව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආණ්ඩුව දැනුම් දී තිබෙනවා.

මුයිසු ජනාධිපති ධුරයට පත්වූ පසු මෙම කරුණ පිළිබඳ දෙපාර්ශවය සාකච්ඡා පැවැත්වූ අතර මුයිසු තම ආණ්ඩුවේ මතය ඉන්දියාව වෙත දන්වා සිටියා. මාලදිවයින් විදේශ අමාත්‍යංශය කියා සිටියේ දෙපාර්ශවයම ඉන් දීය හමුදා ඉවත් කිරීම වේගවත් කිරීමට එකඟ වූ බවයි.

මාලදිවයින් රජය මුලින් කියා සිටියේ එරට තුළ ඉන්දීය හමුදා සාමාජිකයන් 77 ක් සිටින බවයි. එහෙත් මෑතකදී ඔවුන් එම සංඛ්‍යාව 88 ක් බව ප්‍රකාශ කළා. මෙම හමුදා සාමාජිකයන් වැඩි දෙනකු රැඳී සිටින්නේ ඉන්දියාව විසින් මාලදිවයිනේ දූපත් අතර ගලවාගැනීම් මෙහෙයුම් සහ රෝගී ප්‍රවාහන කටයුතු සඳහා ලබා දී ඇති ඩෝර්නියර් ගුවන් යානා දෙක සහ හෙලිකොප්ටරය පැදවීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා යි.

මාලදිවයිනේ ආණ්ඩුව සහ ඉන්දියාව අතර පසුගිය දිනවල කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඊට හේතු වූයේ එරට දේශපාලකයන් කිහිප දෙනකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිරීමයි. ආණ්ඩුව විසින් සිය නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනකුගේ ධුරයන් අහෝසි කළ අතර ඔවුන් විසින් කළ ප්‍රකාශයන් සිය නිල මතයක් නොවන බව ද සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති මුයිසුගේ චීන සංචාරය ද සිදුවූයේ ඒ සමගාමීව යි. ඒ පිළිබඳව ද ඉන්දියාව විමසිල්ලෙන් පසුවනවා.

මුයිසු බලයට පැමිණියේ ඉන්දියානු විරෝධී, චීන හිතවාදී ස්ථාවරයක් මතයි. ඔහුට කලින් ජනාධිපති ධුරයෙහි සිටි ඊබ්‍රහීම් සෝලි ඉන්දියානු හිතවාදී ස්ථාවරයක සිටියා.

මේ අතර මාලදිවයිනේ මහමැතිවරණය මාර්තු 17 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.