hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:11



මාලදිවයින් ජනාධිපතිවරණයෙහි දෙවන වටයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. මෙහිදී වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලිහ් සමග මාලේ නගරාධිපති මොහොමඩ් මුයිසු තරග වැදීමට නියමිතයි.

ජධාධිපතිවරණයෙහි පළමු වටය මීට සති තුනකට පෙර පවත්වන ලද අතර එහිදී මුයිසු පළමු ස්ථානයට පැමිණියේ සියයට 46 ක ඡන්ද ප්‍රතිශතයක් සමගයි. සෝලිහ් එහිදී සියයට 39 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළා. කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යා නොහැකි වූ බැවින් පළමු අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවුණා.

මෙවර මාලදිවයින් ජනාධිපතිවරණය කලාපීය දේශපාලනයට ඉතා වැදගත් අවස්ථාවක් වනවා. ජනාධිපති සෝලිහ් ඉන්දියාවට වඩාත් සමීප නායකයකු වන අතර ඔහු ඉන්දියානු හමුදා සාමාජිකයන්ට මාලදිවයිනේ රැඳෙන්නට දෙමින් එරට ජාතික ආරක්ෂාව අනතුරේ දමා ඇතැයි මොහොමඩ් මුයිසු චෝදනා කරනවා. මුයිසු හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පක්ෂය නියෝජනය කරන අතර ඔහු චීනයට වඩා ලැදි අයකු සේ සැලකෙනවා.

ජනාධිපතිවරණයේ දෙවන වටයේදී හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ්ගේ පාක්ෂිකයන් කෙසේ හැසිරේද යන්න ද වැදගත් සාධකයක් විය හැකියි. නශීඩ් සහ සෝලිහ් අතර ඇතිවූ මතභේදවලින් පසු නශීඩ් පාක්ෂිකයන් පිරිසක් “ද ඩිමොක්‍රැට්ස්” නම් පක්ෂය ගොඩනැගූ අතර මෙවර ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂක ඉල්යාස් ලබීබ් ඡන්ද 15,839 ක් හෙවත් සියයට 7.18 ක් ලබාගත්තා. මෙම ඡන්ද දෙවන වටයේදී කවරකුට ලැබෙයිද යන කරුණ අවසන් ප්‍රතිඵලයට බලපානු ඇති.