2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
ඉන්දියාවේ දහතුන්වන අගමැතිවරයා මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකු ද වූ ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වූ බව ඊයේ රාත්‍රියේ නිවේදනය කෙරුණා. මියයනවිට ඔහු 92 වන වියෙහි පසුවුණා.
වර්තමානයේ පාකිස්ථානයෙහි පිහිටි ගාහ් නම් ග්‍රාමයේ උපන් මන්මෝහන් 1947 දී සරණාගතයකු ලෙස අම්රිත්සර් වෙත පැමිණියා. පසු කලෙක පන්ජාබ් සරසවියෙන් ආර්ථික විද්‍යාව හදාරා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ද ඇතුල් වූ හෙතෙම, ඉන් වසර කිහිපයකට පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන අතර ඔහු විටින් විට විවිධ ජාත්‍යන්තර සංවිධානවලට අනුබද්ධව ද කටයුතු කළා. මුදල් ඇමති ලෙස පත්වීමට පෙර ඔහු ඉන්දියාවේ රජයේ දැරූ වැදගත්ම තනතුර වූයේ 1985-87 සමයේ සැලසුම් කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කිරීමයි.
1991 මහමැතිවරණයෙන් අනතුරුව නරසිම්හ රාඕ බලයට පැමිණෙන විට ඉන්දියාවේ ගෙවුම් ශේෂය වූයේ ඉතා අයහපත් අඩියකයි. මෙම තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඔහු මන්මෝහන් සිංව රාජ්‍ය සභාවට පත්කර සිය මුදල් ඇමති ලෙස පත්කරගත්තා. ඉන්දියාවේ ආර්ථික ලිබරල්කරණය ඇරඹුවේ එම සමයේ යි.
2004 දී සෝනියා ගාන්ධි අගමැති ධුරය භාර නොගත් හෙයින් මන්මෝහන් සිං එම ධුරයට පත් කෙරුණා. ඔහු සාර්ථක පළමු ධුර කාලයක් සම්පූර්ණ කර 2009 මහමැතිවරණයෙන් කොන්ග්රස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූවා. මෙකල ඔහුගේ සාර්ථකම කර්තව්‍යයක් වූයේ ඇමරිකාව සමග න්‍යෂ්ටික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමයි.
දෙවන ධුර කාලය තුළ කොන්ග්රස් ආණ්ඩුවට එරෙහිව විවිධ දූෂණ චෝදනා නැගෙන්නට වූ විට මන්මෝහන් සිං ඊට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වූයේ නැහැ. එහෙයින් ඔහුගේ ආණ්ඩුව බරපතල ලෙස අපකීර්තියට පත්වුණා. 2014 දී කොන්ග්රස් පක්ෂය මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලබාගත්තා. ඔහු එම මැතිවරණයට තරග කළේ ද නැහැ.
කෙසේ වෙතත් මන්මෝහන් සිංට පුද්ගලිකව දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා නැහැ. ඔහු ඉතා අවංක පුද්ගලයකු ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පත් වූ අයෙක්.
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06