hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 10:26



මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සටන්වදින කැරලිකරුවන් විසින් එල්ල කෙරෙන ප්‍රහාර දිගටම සිදුවනවා.

අද දිනයේ කයාහ් ප්‍රාන්තයේ හමුදා කඳවුරු දෙකක් අල්ලාගත් බව එහි කැරලිකරුවන් වාර්තා කළා. මේ අතර ඊයේ දිනයේ කව්ලින් නගරය අල්ලාගත් බව මහජන ආරක්ෂක හමුදාව වාර්තා කළා. එය මියන්මාරයේ විකල්ප ආණ්ඩුවේ සන්නද්ධ කණ්ඩායමයි.

මන්ඩලේ නගරයට කිලෝමීටර් 250 ක් පමණ ඈතින් පිහිටි කව්ලින් නගරය දිස්ත්‍රික් අගනුවරක් වනවා. මෙවර ඇතිවූ සටන්වලදී කැරලිකරුවන් අතට එවන් මට්ටමේ නගරයක් පත්වූ පළමු වතාව මෙයයි.

මේ අතර ශාන් ප්‍රාන්තයේ චීන මියන්මාර් දේශසීමාබද ප්‍රදේශවල ද සටන් සිදුවෙමින් පවතින බව වාර්තා වුණා. මේ වනවිටත් මන්ඩලේ සහ චීනය අතර මාර්ගය කැරලිකරුවන් විසින් අවහිර කර තිබෙනවා.

මියන්මාරයේ කැරලිකරුවන්ගේ ප්‍රහාර වර්ධනය වූයේ ඔක්තෝබර් අවසාන භාගයේයි. එයට බලපෑ වැදගත් සිදුවීමක් වූයේ එරට ක්‍රියාත්මක සන්නද්ධ කැරලිකාර කණ්ඩායම් තුනක් එක්ව ත්‍රිපාර්ශවීය සහෝදරත්ව සන්ධානය පිහිටුවා ගැනීමයි. එහි සාමාජිකයන් වන්නේ අරකන් හමුදාව​, මියන්මාර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන හමුදාව සහ ට​’අංග් ජාතික විමුක්ති හමුදාවයි.