hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 19, ප.ව. 10:08



ඊශ්‍රායලයේ ආණ්ඩුවෙහි අර්බුදවලට අද තවත් මතභේදයක් එකතු කරමින් ජාතික ආරක්ෂක ඇමති ඉටමාර් බෙන් ගවීර් විසින් රාජ්‍ය රහස් පිටකළේ යැයි චෝදනාවක් ලිකුද් පක්ෂය වෙතින් මතුවුණා.

මෙම චෝදනාව මතුවීමට හේතු වූයේ යුදෙව් රබයිවරුන් පත්කිරීම ගැන විවාදාත්මක පනතකට සහය ලබාදෙන්නේ නම් ආරක්ෂාව පිළිබඳ රහස්‍ය තොරතුරු වාර්තා බෙන් ගවීර් වෙත ද ලබාදීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු පොරොන්දු වූ බවට මාධ්‍ය වාර්තා පළවීමයි.

බෙන් ගවීර් කැබිනට් මණ්ඩලයේ සිදුවන සාකච්ඡාවල විස්තර මාධ්‍ය වෙත ලබාදෙන්නේ යයි මීට පෙර ද චෝදනා එල්ල වී තිබෙනවා.

නොබෝදා අහෝසි කරන ලද යුධ කැබිනෙට්ටුව පවතින සමයේ බෙන් ගවීර් නිතිපතාම තමන් ඊට ඇතුලත් විය යුතු බව අවධාරණය කළා. නමුත් නෙතන්යාහු ඔහුව එයට ඇතුල් කරගත්තේ නැහැ. ඊට හේතුවක් වූයේ ඔහු තොරතුරු පිටකරනු ඇතයි නෙතන්යාහු තුළ වූ අවිශ්වාසය බව පැවසෙනවා.

ඉහත කී පනත පිළිබඳ ද මාධ්‍යවල පළවූයේ අසත්‍ය කරුණු බවයි ලිකුද් පක්ෂය පවසන්නේ. නෙතන්යාහු ප්‍රකාශ කළේ රාජ්‍ය රහස් පිළිබඳ දැනගැන්නා අය පුද්ගලික සාකච්ඡා සහ තොරතුරු පිටකිරීම නොකළ යුතු බව යයි ලිකුද් පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන්.

ලිකුද් පක්ෂය යනු නෙතන්යාහු නියෝජනය කරන දේශපාලන පක්ෂයයි.

මේ අතර අගමැති නෙතන්යාහු වීඩියෝ පණිවිඩයක් මගින් කියා සිටියේ ආණ්ඩුවේ පාර්ශවයන් තම තමන් අතර ගැටුම් ඇති නොකරගෙන ප්‍රධාන අරමුණ වන හමාස් සංවිධානය විනාශ කිරීමේ සටන වෙත අවධානය යොමු කළ යුතු බවයි.