hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, ප.ව. 1:55



පැසිෆික් සාගරයේ ප්‍රංශ පාලනයේ තිබෙන නව කැලඩෝනියාවේ නැවත වරක් විරෝධතා හටගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ නව කැලඩෝනියා විමුක්තිකාමී නායකයකු ප්‍රංශයට පිටුවහල් කිරීමට ගන්නා ලද තීරණයයි.

මැයි මාසයේ ඇතිවූ විරෝධතා මෙහෙයවූයේ යයි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ක්‍රිස්ටියන් ටෙයින් නම් නායකයා ප්‍රංශය වෙත මෙසේ පිටුවහල් කර තිබෙනවා.

ප්‍රංශය විසින් නව කැලඩෝනියාවේ මැතිවරණ නීති සංශෝධනය කිරීමට ගන්නා ලද තීරණයක් හේතුවෙන් මැයි මසදී දරුණු විරෝධතා හටගත්තා. තත්ත්වය පාලනය සඳහා ආරක්ෂක අංශ කැඳවීමට සිදුවූ අතර පසුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද එහි සංචාරය කළා. එම සංචාරය අතරවාරයේ මැක්‍රොන් ක්‍රිස්ටියන් ටයින් ද හමුවුණා.

පසුගිය සතියේ පොලිසිය විසින් ටයින් සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබුණා.

නව කැලඩෝනියාවේ ස්වදේශික කනාක් ජනතාව ප්‍රංශය වෙතින් ස්වාධීනත්වය අපේක්ෂා කරනවා. ඒ පිළිබඳ 2021 දී පැවති තුන්වන ජනමත විචාරණය ඔවුන් විසින් වර්ජනය කෙරුණ අතර එහි ප්‍රතිඵලය ද ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.