hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:00



නවසීලන්තයේ කලින් පැවති කම්කරු පක්ෂ ආණ්ඩුව විසින් ක්‍රියාවට නගන ලද නව පරම්පරාවන්ට දුම්බීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය නොබෝදා බලයට පත්වූ නව ආණ්ඩුව විසින් අහෝසි කෙරුණා.

සති හයකට පෙර පැවති මහමැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් වූයේ නැහැ. එහෙයින් ඔවුන් ACT සහ නිව්සීලන්ඩ් ෆර්ස්ට් යන පක්ෂ සමග සන්ධානයක් පිහිටුවාගත්තා. එම පක්ෂ දෙකම මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි හෙයින් නව ආණ්ඩුව එම පියවර ගෙන තිබෙනවා.

කම්කරු පක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් නව ප්‍රතිපත්තිය අනුව 2009 ජනවාරියෙන් පසු උපන් කිසිවකුට නිත්‍යනුකූලව දුම්වැටි මිලදී ගැනීම තහනම් වනවා. එවිට කාලයත් සමග දුම් බීම අඩුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

මෙම පියවර යටතේ දිගු කාලීනව සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරාගත හැකියි. එමෙන්ම සෞඛ්‍ය සේවයට ද විශාල මුදලක් ඉතිරි වනවා. කෙසේ වෙතත් කෙටිකාලීනව එම පියවරෙහි බර ආණ්ඩුව දැරිය යුතුයි. දුම්වැටි අලෙවිකරන වෙළඳසල්වලට ආදායම අඩුවීම හේතුවෙන් ඔවුන්ට සහනයක් සැලසීමට රජය යම් මුදලක් වෙන්කළ යුතුයි. එමෙන්ම දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම ද රජයට අහිමි වනවා.

නව ආණ්ඩුව රටේ ආර්ථිකය නගා සිටුවීමේ අදහසින් බදු අඩු කිරීමට බලාපොරොත්තු වනවා. එවිට රාජ්‍ය ආදායමේ අඩුව පියවා ගත යුතුයි. දුම්වැටි තහනම ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සහන සඳහා ගෙවන්නට වන මුදල සහ දුම්වැටි අලෙවියෙන් ලැබෙන බදු ඉතිරි කරගැනීමයි.

කෙසේ වෙතත් ජනතාවගේ ජීවිත පිළිබඳ සැලකීමක් නොදැක්වීම පිළිබඳව මෙම තහනම ඉවත් කිරීමට මුල් වූ පාර්ශව වෙත ඇතැම් පිරිස්වල විරෝධය එල්ල වනවා.