hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 6:18



තම ඔත්තු බලන චන්ද්‍රිකාවෙහි ක්‍රියාකාරීත්වයට බාධා කරමින් එයට ඇමරිකාව විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් ද ඊට ප්‍රතිචාර දක්වන බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය පවසා සිටින්නේ තම චන්ද්‍රිකාව උතුරු කොරියානු ස්වෛරී ප්‍රදේශයක් සේ සලකන බවයි. එහෙයින් ඊට පහර දුනහොත් තමන්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමක් සේ සලකන බව ද ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

මෙම ප්‍රකාශය නිකුත් කරන ලද්දේ ඇමරිකානු අභ්‍යවකාශ බලකායේ ප්‍රකාශිකා ශෙරිල් ක්ලින්කල් කළ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පැවසූ අදහසකට ප්‍රතිචාර ලෙස බවයි පෙනී යන්නේ. අභ්‍යවකාශයේ ඇති එදිරිවාදියකුගේ උපකරණ තාවකාලිකව හෝ ස්ථිරවම ක්‍රියා විරහිත කිරීමේ හැකියාව තමන්ට ඇති බව ඇය සඳහන් කර තිබුණා.

සිය මල්ලික්යොංග්-1 චන්ද්‍රිකාවට කිසිවක් සිදු වුවහොත් නිරන්තරයෙන් උතුරු කොරියානු භූමියට ඉහළින් පියාසර කරන ඇමරිකන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා සිය ඉලක්ක වීමේ ඉඩක් ඇතැයි ද උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

උතුරු කොරියාව විසින් සිය චන්ද්‍රිකාව කක්ෂගත කරන ලද්දේ නොවැම්බර් 21 වනදා යි. එය විසින් ඇමරිකාවේ ධවල මන්දිරය සහ පෙන්ටගනය ඇතුළු ස්ථාන කිහිපයක් ද බ්‍රිතාන්‍ය ගුවන් යානා ගෙනයන නෞකාවක් ද ආදී විවිධ ස්ථාන නිරීක්ෂණය කළ බව නොබෝදා එරට කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය ප්‍රකාශ කළා.

Example Image