2023 අගෝස්‍තු 14, ප.ව. 10:48
පාකිස්ථානයේ වැඩබලන අගමැති ලෙස අන්වර් උල්-හක් කාකර් අද දින දිවුරුම් දුන්නා. ඔහුගේ දිවුරුම් දීමේ උත්සවය එරට ජාතික දිනය හා සමගාමීව පැවැත්වීම විශේෂ සිදුවීමක් වුණා.
පාකිස්ථානයේ බලුචිස්ථාන ප්‍රාන්තයෙහි බලුචිස්ථාන අවාමි පක්ෂයේ ආරම්භක නායකයකු වූ කාකර් සෙනට් සභිකයකු ද වුණා. කෙසේ වෙතත් ඔහු පක්ෂයෙන් මෙන්ම සෙනට් සභා මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වූයේ වැඩබලන අගමැති වශයෙන් අපක්ෂපාතී ලෙස කටයුතු කළ යුතුය යන අදහසින්.
වැඩබලන අගමැති දිවුරුම් දෙන ලද්දේ ජනාධිපති අරීෆ් අල්වි ඉදිරියේයි. එම අවස්ථාවට හමුදා ප්‍රධානී ජෙනරල් ආසිම් මුනීර් ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම හිටපු අගමැති ශබාෂ් ෂරීෆ් ද සහභාගී වුණා.
පාකිස්ථාන මහමැතිවරණය පවත්වන දිනය මෙතෙක් ප්‍රකාශ කර නැහැ. මැතිවරණය පවත්වන තෙක් කාකර් වැඩබලන අගමැති ලෙස කටයුතු කරනු ඇති.
පශ්තුන් ජාතිකයකු වන කාකර් 1971 දී උපන් අයෙක්. ඔහු බලුචිස්ථාන සරසවියේ උපාධිධාරියකු වන අතර භාෂා හයක් කතාකිරීමට හැකි අයෙක්. දේශපාලනිකව ඔහු යුධ හමුදාවට සමීප අයකු ලෙස සැලකෙන අතර ඔහු වැඩබලන අගමැති ලෙස පත්ව ඇත්තේ එහෙයින් යයි ද ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46