hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 17, ප.ව. 1:37



කොරෝනා වසංගත සමයේදී චීනය නිසින් නිපදවූ සිනෝවැක් එන්නත තත්ත්වයෙන් බාල බවට මතයක් ගොඩනැගීම සඳහා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ යැයි රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.

එම පුවත් සේවය පවසන්නේ 2020 ගිම්හාන සමයේ සිට 2021 මැද පමණ වනතෙක් චීනය පිළිබඳ සහ එන්නත් පිළිබඳ හානිකර මතයන් සමාජගත කිරීමට මෙම ප්‍රචාරක වැඩපිළිවෙල මගින් කටයුතු කෙරුණ බවයි. මෙය මූලිකවම පිලිපීනය ඉලක්ක කරගෙන සිදුව තිබෙනවා.

පිලිපීනයට මුලින්ම ලැබුණ එන්නත සිනෝවැක් වූ අතර 2021 මාර්තුවේ සිට එය එම රටට ලබාදෙනු ලැබුණා. නමුත් බොහෝ පිලිපීන වැසියන් එය ලබාගැනීමට මැළි වුණා. එහෙයින් එවක ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට එම එන්නත ලබාගන්නා ලෙස ජනතාවට දැඩිව ප්‍රකාශ කරන්නත් සිදුවුණා.

ඇමරිකානු ප්‍රචාරක වැඩසටහන ක්‍රියාවට නගා ඇත්තේ පිලිපීනය තුළ චීන බලපෑම වර්ධනය වීමේ අවදානම පාලනය කිරීමටයි. මෙය ඇමරිකානු හමුදාවන් හි නිර්දේශ මත කෙරුණ වැඩසටහනක් බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය මීට ලැබී නැති බවත් සඳහන් වනවා. විශේෂයෙන්ම සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් පවතින අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට බලපාන ආකාරයේ මෙවැනි ප්‍රචාරයන් ප්‍රචලිත කිරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව එතරම් සතුටට පත්ව නැති බවයි කියැවෙන්නේ.

සිනෝවැක් එන්නත තත්ත්වයෙන් බාල බව සමාජගත කරන අතරම එය නිපදවීමට ඌරු තෙල්වලින් සෑදූ ජෙලටින් යොදාගන්නේ යයි ද මතයක් සමාජගත කිරීමෙන් මුස්ලිම්වරුන් එය ලබාගැනීම වැළැක්වීමට ද මෙකී ප්‍රචාරක වැඩපිළිවෙලින් බලාපොරොත්තු වූ බවයි රොයිටර්ස් පුවත් සේවය පවසා සිටින්නේ.