hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 23, පෙ.ව. 9:41



දින 50 ක් තුළ සටන් විරාමයකට එළඹීමට අපොහොසත් වන්නේ නම් රුසියාවට එරෙහිව ද්විතීයික සම්බාධක පනවන්නේ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද අනතුරු ඇඟවීම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් එතරම් ම වද නොවන බව බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පත පවසනවා.

ට්‍රම්ප් සමග යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම පිළිබඳ පුටින් කිසියම් අසතුටකින් පසුවෙතත්, යුක්‍රේනය ආක්‍රමණය රුසියාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස පුටින් විසින් සලකනු ලබන බව ක්‍රෙම්ලීන පරිපාලනයට සම්බන්ධව සිටි නිලධාරියකු එම පුවත්පත සමග පවසා තිබෙනවා.

එමෙන්ම ට්‍රම්ප් හැඟීම්බර අයකු සේ පුටින්ට පෙනෙන බවත් ට්‍රම්ප්ගේ සිත වෙනස් කරගත හැකි යැයි ඔහු කල්පනා කරන බවත් ගාර්ඩියන් පුවත්පත වාර්තා කරනවා.

රුසියාව විසින් දිගටම ඇමරිකාව වෙත විවිධ ආකාරයේ ප්‍රවේශයන් දක්වනු ඇති බවයි රුසියානු විදේශ කටයුතුවලට සම්බන්ධ නිලධාරියකු එම පුවත්පත සමග ප්‍රකාශ කර ඇත්තේ. නමුත් ඒ අතරම දින පනහේ අනතුරු ඇඟවීම සිය යුධ ප්‍රයත්නය වඩා ශක්තිමත් කිරීමට හේතුවක් කරගන්නට ද ඉඩ ඇති බවයි එම පුවත්පත පවසන්නේ.

ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව යුක්‍රේනයට දිගටම ප්‍රහාර එල්ල කිරීම පුටින් කරගත් උපක්‍රමික වරදක් බව හිටපු ක්‍රෙම්ලින් නිලධාරියා පවසා තිබෙනවා. නමුත් අනෙක් අතට තමන් දුර්වල යැයි පෙන්නුම් නොකිරීම පුටින්ගේ අභිලාශය වූ බවයි ඔහු කියා සිටින්නේ.

තම කොන්දේසි මත යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවය දැනටත් පුටින්ට තිබෙන බවයි ගාර්ඩියන් වාර්තාව සඳහන් කරන්නේ.