hit counter

2025 අගෝස්‍තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්‍තු 14, ප.ව. 2:00



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ව යුක්‍රේන යුද්ධයෙහි සටන් විරාමයක් සඳහා එකඟ කරගැනීමට උත්සාහ කරන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයන් සමග පවසා තිබෙනවා.

ඊයේ ට්‍රම්ප් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මේ බව සඳහන් කළා.

මැක්‍රොන් සමග ජර්මන්, බ්‍රිතාන්‍ය​, ඉතාලි, පෝලන්ත​, ෆින්ලන්ත රාජ්‍ය නායකයන් ද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද යුරෝපා සංගම් නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්වූ අතර එය සංවිධානය කළේ ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ට්ස් විසින්.

මෙම සංවාදයේදී සටන් විරාමයකට එකඟ වීමට පුටින්ට බලපෑම් කරන බවටත් යුක්‍රේන භූමිය පිළිබඳ තීරණ ගැනීම යුක්‍රේන ජනාධිපර්ති වොලොදිමීර් සෙලෙන්ස්කි නොමැතිව සිදු නොකරන බවටත් ට්‍රම්ප් පවසා තිබෙනවා.

යුක්‍රේනයේ ආරක්ෂාව සහතික කිරීමට තමන් සූදානම් නමුත් යුක්‍රේනය නේටෝ සංවිධානයට එක් වීමට තම පක්ෂපාතීත්වයක් නොමැති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ද මැක්‍රොන් කියා සිටියා.

මේ අතර සටන් විරාමයක් සඳහා එකඟ වීම සඳහා පුටින්ට ආර්ථික පැකේජයක් යෝජනා කිරීමට ට්‍රම්ප් සූදානම් වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා.

ඇලස්කාවේ ස්වභාවික සම්පත් සඳහා රුසියාවට ප්‍රවේශය ලබාදීම​, බීරිං සමුද්‍ර සන්ධිය ප්‍රදේශයේ ස්වභාවික සම්පත් උකහා ගැනීමට අවස්ථාව ලබාදීම​, යුක්‍රේනයේ රුසියානු පාලනය යටතේ ඇති භූමියෙහි විරල පාංශු ලෝහ භාවියට රුසියාවට අවසර දීම සහ රුසියාවේ ගුවන් යානා ක්ෂේත්‍රය සම් බාධකවලින් නිදහස් කිරීම මේ යෝජනා අතර වේ යැයි එම පුවත්පත කියා සිටියා.