hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 අගෝස්‍තු 30, ප.ව. 2:45



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඔක්තෝබරයේදී චීනයේ පැවැත්වෙන තීරයක් මාවතක් සමුළුව සඳහා සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මාර්තු මාසයේදී අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් යුධ අපරාධ චෝදනා යටතේ පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු විදේශ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනු ඇති.

ලබන සතියේ ඉන්දියාවේදී පැවැත්වෙන G-20 රාජ්‍ය නායක සමුළුවට පුටින් සහභාගී නොවන බව පසුගියදා නිවේදනය කෙරුණ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග පවත්වන ලද දුරකථන සංවාදයකදී පුටින් ඒ බව ඔහුට ද දන්වා සිටියා.

G-20 සමුළුවේදී පුටින් ව නියෝජනය කරනු ඇත්තේ විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රොෆ් විසින්. පසුගිය දා දකුණු අප්‍රිකාවේ පවත්වන ලද රාජ්‍ය නායක හමුවේදී ද ලැව්රොෆ් විසින් පුටින්ව නියෝජනය කෙරුණා.

මේ අතර ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් පවසා සිටියේ චීන සංචාරයේ වැඩසටහන් අනුපිළිවෙල පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවයි. යථා කාලයේදී ඒ පිළිබඳ වැඩි තොරතුරු ලබාදිය හැකි යයි ඔහු සඳහන් කළා.