hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 09, ප.ව. 8:14



එළඹෙන ජූලි 4 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහමැතිවරණයේදී බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් මෙහෙයවන කොන්සර්වේටිව් පක්ෂය තුන්වන තැනට ඇදවැටීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ Reform UK පක්ෂය ශක්තිමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වීමයි. එහි නායක නයිජල් ෆරාජ් මැතිවරණයට ඉදිරිපත් නොවන බව මුලින් ප්‍රකාශ කර තිබුණ ද ඔහු පසුව එම අදහස වෙනස් කළා. ඒ සමගම එම පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණයේ සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.

මැතිවරණයේදී Reform UK පක්ෂයට ආසන දිනාගැනීම පහසු නොවනු ඇති. නමුත් ඔවුන්ට කොන්සර්වේටිව් ඡන්ද කැඩීමෙන් ඔවුන්ගේ ආසන සංඛ්‍යාව අඩු කරන්නට හැකියාව තිබෙනවා.

මෑතදීම නිකුත් වූ සමීක්ෂණයෙන් පෙන්නුම් කරන පරිදි ලේබර් පක්ෂය ආසන 422 ක් දිනාගැනීමේ ඉඩක් තිබෙන අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 140 ක් දිනාගත හැකියි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 48 ක් ලැබීමේ අවකාශය ඇතැයි එම සමීක්ෂණය පවසනවා. කෙසේ වෙතත් මෙම සමීක්ෂණයට තොරතුරු එක් කෙරුණේ නයිජල් ෆරාජ්ගේ තීරණය ප්‍රකාශ වීමට පෙරයි.

මේ අතර නිව් ස්ටේට්ස්මන් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නවතම පුරෝකථනය අනුව ලේබර් පක්ෂය ආසන 455 ක්, කොන්සර්වේටිව් පක්ෂය ආසන 86 ක් සහ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 65 ක් දිනාගැනීමේ ඉඩකඩ තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අගයන් මීට වඩා බෙහෙවින් වෙනස් වීමේ අවකාශය ද තිබෙන බව එම ආයතනය පවසනවා. නිශ්චිතව පුරෝකථනය කළ හැක්කේ ලේබර් පක්ෂය පහසුවෙන්ම විශාල බහුතරයක් දිනාගන්නා බවයි.

නයිජල් ෆරාජ් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ලේබර් පක්ෂයට උපකාර කරන බව කොන්සර්වේටිව් ප්‍රබලයින් චෝදනා කරනවා. නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ෆරාජ් පවසන්නේ බ්‍රිතාන්‍යයට බලපා ඇති සංක්‍රමණික ප්‍රශ්නය අරභයා කොන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය යන දෙකෙහිම ප්‍රතිපත්තිවල විශාල වෙනසක් නැති බවයි. එහෙයින් සැබෑ විකල්පය වන්නේ කොන්සර්වේටිව් පක්ෂය නොව තමන් බව ඔහු කියා සිටිනවා.