hit counter

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2025 පෙබරවාරි 20, ප.ව. 9:41



රුසියානු හමුදා යුක්‍රේනයේ සූමි පළාත වෙත ඇතුල් වූයේ යැයි ජනාධිපති ව්ලදිමීර් පුටින් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රුසියානුවන් විසින් විශාල ප්‍රමාණයේ මෙහෙයුමක් එහි දියත් කර ඇති බවයි. කුර්ස්ක් පළාතේ යුක්‍රේනියානුවන් විසින් අල්ලාගෙන තිබී රුසියානුවන් අතට මෑතකදී පත්වූ ප්‍රදේශයක සිට මෙම මෙහෙයුම දියත්ව ඇතැයි වාර්තා වනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් කුර්ස්ක් පළාතේ යුක්‍රේනියානුවන් අත පවතින සූද්ජ නගරය සහ යුක්‍රේනය අතර සැපයුම් මාර්ග බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි රුසියානු පාර්ශවයෙන් ඇතැම් මිලිටරි බ්ලොග්කරුවන් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ යුක්‍රේනය විසින් කිසිවක් සඳහන් කර නැහැ.

මේ අතර කුර්ස්ක් පළාතේ යුක්‍රේනියානුවන් විසින් අල්ලාගෙන තිබූ භූමි ප්‍රදේශයෙන් සියයට 64 ක් මුදාගෙන ඇතැයි රුසියාව පවසනවා.

2024 අගෝස්තු 6 වනදා එල්ල වූ යුක්‍රේන ප්‍රහාරයෙන් කුර්ස්ක් පළාතේ වර්ග කිලෝමීටර් 1268 ක් ඔවුන් අතට පත්වූයේ යැයි ද ඉන් වර්ග කිලෝමීටර් 500 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් අත තවම පවතින්නේ යැයි ද ප්‍රධාන පෙළේ රුසියානු හමුදා නිලධාරියකු වන සර්ගේයි රුද්ස්කි සඳහන් කළා.