hit counter

2025 නොවැම්‍බර් මස 17 වන සඳුදා

2025 නොවැම්‍බර් 17, ප.ව. 5:31



බංග්ලාදේශයේ හිටපු අගමැතිණි ශෙයික් හසීනාට මරණීය දණ්ඩනය පැනවීමට එරට විශේෂ අධිකරණයක් මගින් අද නියම කෙරුණා.

ඇය 2024 දී ඇගේ පරිපාලනයට එරෙහිව මතුවූ ජනතා අරගලය මර්ධනය කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳව එල්ල වී තිබූ චෝදනා කිහිපයකට වරදකරු ලෙස තීන්දු කිරීමෙන් පසු ඇයට මෙම දඬුවම නියම කෙරුණා.

එකල ඇගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිවරයා සහ පොලිස් ප්‍රධානියා ද චෝදනාවලට ලක්ව තිබූ අතර පොලිස් ප්‍රධානියා රජයේ සාක්කිකරුවකු බවට පත්ව තිබුණා.

මෙම අධිකරණ ක්‍රියාවලිය ප්‍රතික් ෂේප කරන ශෙයික් හසීනා කියා සිටින්නේ තමාට එරෙහිව ලබාදෙන තීන්දුව කලින්ම ගන්නා ලද එකක් බවයි. ජීවිතය ලබාදෙන්නේත්, ලබාගන්නේත් දෙවියන් විසින් බව පවසන ඇය අධිකරණ තීන්දුව නොසලකා හරින බව කියා සිටියා.

හසීනා දැනට ජීවත් වන්නේ ඉන් දියාවේ යි. එහිදී NDTV මාධ්‍ය ආයතනය සමග සංවාදයකට එක්වෙමින් හසීනා ප්‍රකාශ කර තිබුණේ තමන් බලයෙන් නෙරපීමට විදෙස් බලවේගයක් කටයුතු කළේ යැයි නිශ්චිත සාක්කි තමන්ට නොමැති බවයි.

ඒ සඳහා ඇමරිකානු මැදිහත්වීමක් තිබිය හැකි යැයි ඇය මින් පෙර අඟවා තිබුණා.

මේ අතර හසීනා තවදුරටත් කියා සිටියේ වත්මන් නායක මොහොමඩ් යූනුස් ආර්ථික විද්‍යාඥයකු බැවින් ඔහුගේ ආර්ථික හැකියාවන් පරිපාලන හැකියාවක් බවට පත්වේ යැයි ඔහුව බලයට ගෙනා පාර්ශව සිතන්නට ඇති බවයි. නමුත් යූනුස් යටතේ සුළු වාර්ගික, සුළු ආගමික කොටස්වලට අත්ව ඇති ඉරණම සහ ඉස්ලාමීය අන්තවාදීන් ශක්තිමත් වීම හේතුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ලිබරල් බලවේග ඔහුගෙන් ඈත් වේ යැයි තමන් විශ්වාස කරන බව ද ඇය ප්‍රකාශ කළා.

ශෙයික් හසීනාට එරෙහිව මතුවූ ජන අරගලය හේතුවෙන් ඇයට 2024 අගෝස්තු 5 වනදා බංග්ලාදේශයෙන් පළා එන්නට සිදුවුණා.