hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:16



ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිකාර් ධවාන්ට ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වීමට දිල්ලි අධිකරණයක් විසින් අවසර ලබාදෙනු ලැබුණා.

ඊයේ දෙන ලද තීන්දුවෙන් ප්‍රකාශ කෙරුණේ ධවාන්ගේ බිරිඳ අයේෂා මුඛර්ජි, ධවාන්ට ඔහුගේ පුත්‍රයා හමුවීමට අවස්ථාව නොදීම මගින් ඔහුට කෲර ලෙස, මානසික පීඩාවක් ඇතිවන අයුරින් ක්‍රියා කර ඇති බවයි.

ධවාන්ගේ බිරිඳ ධවාන් විසින් ඉදිරිපත් කෙරුණ චෝදනා අසත්‍ය යයි ඔප්පු කිරීමට සමත් නොවූ බව අධිකරණය තීරණය කළා.

කෙසේ වෙතත් ඔවුන්ගේ පුත්‍රයාගේ භාරකාරත්වය පිළිබඳ අධිකරණය අවසන් තීරණයක් ගත්තේ නැහැ. නමුත් ධවාන්ට සිය පුත්‍රයා හමුවීමට සහ වීඩියෝ මගින් ඔහු හා කතාබහ කිරීමට සාධාරණ කාලයක් ලබාදිය යුතු යයි අධිකරණය තීරණය කළා.

අයේෂා මුඛර්ජි මේ වනවිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ යි. ඇයට කලින් විවාහයෙන් දියණියන් දෙදෙනකු ද සිටිනවා.

ශිකාර් සහ අයේෂා 2012 දී විවාහ වූ අතර තමන්ට දික්කසාදයක් අවශ්‍ය බව අයේෂා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ 2021 දී. එමෙන්ම මීට පෙර අවස්ථාවක මාධ්‍ය හමුවේ ශිකාර් කියා සිටියේ තමන්ට තම විවාහය දෙදරා යන මුල් සලකුණු හඳුනාගත නොහැකි වූ බවයි. එවැනි දේ පිළිබඳ දැනුම අත්දැකීම් සමග ලැබෙන්නක් යයි ඔහු සඳහන් කර තිබුණා.